දකුණු චීන මුහුදේ මතභේදාත්මක ඇන්ටෙලෝප් පරයේ ගුවන් පථයක් හැදීමට චීනයෙන් දැවැන්ත ව්‍යාපෘතියක්

0
4

දකුණු චීන මුහුදේ පිහිටි මතභේදාත්මක පැරසෙල් (Paracels) දූපත් සමූහයට අයත් ඇන්ටෙලෝප් පරය (Antelope Reef) හි ගුවන් යානා පථයක් ඉදිකිරීමේ කටයුතු චීනය විසින් කඩිනම් කර ඇති බව නවතම චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘Vantor’ චන්ද්‍රිකා තාක්ෂණ ආයතනය මගින් පසුගිය සැප්තැම්බර් 25 වනදා ලබාගත් ඡායාරූපවලට අනුව භූමිය සකස් කිරීම, කොන්ක්‍රීට් සහ පස් තද කිරීමේ යන්ත්‍ර ක්‍රියාත්මක වීම මෙන්ම ද්‍රව්‍ය පටවාගත් නෞකා නව තොටුපළ වෙත පැමිණෙන ආකාරය නිරීක්ෂණය වී තිබේ. මෙය දශකයකට පසු දකුණු චීන මුහුදේ චීනය සිදුකරන විශාලතම හමුදාමය ව්‍යාපෘතිය ලෙස සැලකෙන අතර, 2027 මැද භාගය වන විට මෙහි වැඩකටයුතු අවසන් වනු ඇති බවට ආරක්ෂක විශ්ලේෂකයෝ පුරෝකථනය කරති.

විශේෂයෙන්ම චීනයේ න්‍යෂ්ටික සබ්මැරීන රඳවා ඇති හයිනාන් දූපතට (Hainan Island) ආරක්ෂාව සැලසීමට මෙම නව කඳවුර ප්‍රබල පිටුවහලක් වනු ඇතැයි පැවසේ. කෙසේ වෙතත්, චීනය හමුදා කඳවුරක් ඉදිකිරීම සම්බන්ධයෙන් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, රාජ්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ මෙය කාලගුණ සහ සාගර විද්‍යාත්මක පර්යේෂණ වැනි සිවිල් කටයුතු සඳහා භාවිත කිරීමට නියමිත බවයි.

ඇන්ටෙලෝප් පරය ඇතුළු පැරසෙල් දූපත් සමූහයේ අයිතිය වියට්නාමය සහ තායිවානය විසින් ද ඉල්ලා සිටින අතර, 1974 වසරේ සිදුවූ සටනකින් පසුව චීනය මෙහි බලය අත්පත් කරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here