දකුණු කොරියාවෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන සහ රැකියා හිමිවන නව වැඩසටහනක්: ගිවිසුමට අත්සන් තැබේ

0
8

දකුණු කොරියාවේ වෘත්තීය පුහුණු හා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වූ නව අවබෝධතා ගිවිසුමකට එළැඹීමට ශ්‍රී ලංකාව නියමිතව තිබේ.

අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (02) දිනයේදී දකුණු කොරියාවේදී සිදු කෙරෙන බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි.

කම්කරු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය, කොරියානු ජනරජයේ ග්යොංසංනම්-ඩෝ පළාත, සචියොන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ චැංෂින් විශ්වවිද්‍යාලය අතර මෙම නව ගිවිසුම අත්සන් කිරීමට නියමිතය.

මෙම ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය 30 වැනිදා දකුණු කොරියාව බලා පිටත්ව ගියහ. මෙම නියෝජිත පිරිසට කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස මහතා සහ වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ජයලත් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ඇතුළත් වෙති.

ශ්‍රී ලාංකික සිසුන්ට හිමිවන වාසි,

  • උසස් අධ්‍යාපන අවස්ථා: ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය මගින් තෝරාගනු ලබන මෙරට සිසුන්ට කොරියානු ජනරජයේ චැංෂින් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමි වේ.

  • රැකියා සහ පදිංචිය: අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් අනතුරුව, එම සිසුන්ට ග්යොංසංනම්-ඩෝ පළාතේ පිහිටි කර්මාන්ත ආයතනවල රැකියා අවස්ථා හිමිවන අතර, එම පළාතේ දීර්ඝකාලීනව පදිංචි වීමටද අවස්ථාව සැලසේ.

මෙම වෘත්තීය හා පුහුණු ශිෂ්‍ය හුවමාරු වැඩසටහනට අදාළ ගිවිසුම් සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here