
විදේශයක සිට කෘතිම බුද්ධිය (AI) කරමින් දියත් කරන ලද දැවැන්ත සයිබර් ප්‍රහාර මාලාවකට පසුගිය මාසයේදී තමන් මුහුණ දුන් බව තායිවාන රජය අනාවරණය කරයි. ලොව පුරා වාර්තා වූ මෙවැනි ආකාරයේ ප්‍රථම AI සයිබර් ප්‍රහාර අතරින් එකක් ලෙස මෙය සැලකෙන අතර, ජූලි 20 වනදා ආරම්භ වූ මෙම සංකීර්ණ සයිබර් ප්‍රහාරය තම ආරක්ෂක නිරීක්ෂණ ඒකක මඟින් හඳුනාගත් බව තායිවාන ඩිජිටල් කටයුතු අමාත්‍යාංශය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතරතුර, ජාතික සයිබර් ආරක්ෂණ ආයතනය මඟින් මේ පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන තිබුණි. මෙම අසාමාන්‍ය ප්‍රහාරය පිළිබඳව මුලින්ම නිරීක්ෂණය කළ ඊශ්‍රායල AI සමාගමක් සඳහන් කර ඇත්තේ, ප්‍රහාරකයින් විසින් තනිව තීරණ ගෙන ක්‍රියාත්මක විය හැකි (Autonomous AI) මෙවලමක් භාවිත කරමින්, සමස්ත සයිබර් ප්‍රහාරක කණ්ඩායමක කාර්යභාරය ස්වයංක්‍රීයව ඉටුකිරීමට සැලසුම් කර ඇති බවයි.
එම වාර්තාවන්ට අනුව, මෙම AI මෙවලම හරහා තායිවාන රාජ්‍ය නිලධාරීන් 85 දෙනෙකුගේ පමණ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී, තොරතුරු වාර්තා 2,500කට අධික ප්‍රමාණයක් පැහැරගෙන ඇත. පසුව මෙම සයිබර් ප්‍රහාරය තායිවානයේ න්‍යෂ්ටික ආරක්ෂක ආයතනයට මෙන්ම එරට ප්‍රධාන බලශක්ති සමාගම් 7ක් දක්වා ද ව්‍යාප්ත කර ඇති බව වැඩිදුරටත් අනාවරණය වේ.
