ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය.
ශ්‍රී ලංකා වේලාවෙන් අද (22) අලුයම අවසන් වූ මෙම තරගයේ දී මීටර් 88.14ක දක්ෂතාවක් දක්වමින් ඔහු මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේය.
මෙම ජයග්‍රහණයත් සමග රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලි ත්‍රිත්වයකම පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටීම විශේෂත්වයකි.
මෙම තරගයේදී ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඔලිම්පික් ශූර ඉන්දියාවේ නීරාජ් චෝප්රා, මීටර් 88.05ක දක්ෂතාවක් දක්වමින් දෙවන ස්ථානයට පත්විය.
එය නීරාජ් චෝප්රා මෙවර තරග වාරයේ දැක්වූ ඉහළම දක්ෂතාවද වේ.
තරගයේ තෙවන ස්ථානය හිමිවූයේ මීටර් 86.69ක දක්ෂතාවක් දැක්වූ ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ටය.
23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ, 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ද රන් පදක්කම දිනාගැනීමට සමත් වූ අතර, එය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව හිමිකරගත් 6 වන රන් පදක්කමයි.
2006 වසරේදී බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ දිනූ රන් පදක්කමෙන් වසර 20කට පසු, ශ්‍රී ලංකාව එම ක්‍රීඩා උළෙලකදී දිනාගත් එකම රන් පදක්කම මෙය වේ.
එමෙන්ම, 1950 වසරේදී ඩන්කන් වයිට් නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ යාර 440 කඩුලු පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමෙන් වසර 76කට පසුව, ශ්‍රී ලාංකිකයෙකු එම ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක්වේ.

