ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද ගාසා සාම සැලැස්ම තමන් ප්‍රතික්ෂේප කරන බවත්, පලස්තීන හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම අවි බිම තබන තෙක් ගාසා තීරයෙන් තම හමුදා ඉවත් කර නොගන්නා බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරයි.
ඊයේ (ඉරිදා) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවකදී අදහස් දක්වමින් අගමැති නෙතන්යාහු ප්‍රකාශ කළේ, පසුගිය මාසයේදී හමාස් සංවිධානයේ ද එකඟතාව පළවූ කරුණු 15කින් යුත් අදාළ ලේඛනය ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරන බවයි.
“ඊශ්‍රායලය මේ කරුණු 15කින් යුත් ලේඛනය පිළිගන්නේ නැහැ,” යනුවෙන් ප්‍රකාශ කළ නෙතන්යාහු, හමාස් සංවිධානය සතු සියලුම සැහැල්ලු සහ බර ආයුධ සම්පූර්ණයෙන්ම බිම තබන තෙක් ඊශ්‍රායල හමුදාවන් ඉවත් කරගැනීමක් සිදු නොවන බව වැඩිදුරටත් සඳහන් කළේය.
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් දැඩි උත්සාහයක නිරත වන පසුබිමක, නෙතන්යාහුගේ මෙම දැඩි තීරණය නිසා එම ප්‍රයත්නයන් හමුවේ තවත් බාධා සහ සංකීර්ණතා මතුවීමේ අවදානමක් නිර්මාණය වී ඇත.

