වේගයෙන් වර්ධනය වන කෘත්රිම බුද්ධි (AI) ක්ෂේත්රයේ ආධිපත්යය තහවුරු කර ගැනීම සඳහා දෙරට අතර පවතින උණුසුම් තරගකාරිත්වය හමුවේ, චීනයේ DeepSeek සමාගමේ කෘත්රිම බුද්ධි මෙවලම් භාවිත කිරීම වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස අමෙරිකානු රජය තම රාජ්ය ආයතනවලට නියෝග කර තිබේ.
අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, ඩීප්සීක් නිෂ්පාදන මෙන්ම එම තාක්ෂණය පදනම් කරගනිමින් තෙවන පාර්ශ්වයන් විසින් සකස් කරන ලද මෙවලම්ද රාජ්ය තොරතුරු තාක්ෂණ උපාංගවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. කෙසේ වෙතත්, මෙම දෙපාර්තමේන්තුවට සිවිල් රාජ්ය ආයතන සඳහා පමණක් නියෝග නිකුත් කළ හැකි අතර, හමුදා හෝ බුද්ධි අංශ සඳහා එම බලතල හිමිව නැත.
රාජ්ය නිලධාරීන් හෝ සැපයුම්කරුවන් මෙම AI මෙවලම් භාවිත කිරීම හරහා සංවේදී දත්ත චීනය වෙත කාන්දු වීමේ දැඩි අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඩීප්සීක් සමාගමේ දත්ත පද්ධති චීනය තුළ පිහිටා තිබීම සහ එරට නීති පද්ධතිය යටතේ පෞද්ගලික සමාගම්වල තොරතුරු පද්ධති වෙත ප්රවේශ වීමට චීන රජයට පුළුල් බලතල හිමිවීම මෙම තීරණයට ප්රධාන හේතුව වී තිබේ.
චීනයේ ප්රමුඛ පෙළේ කෘත්රිම බුද්ධි පර්යේෂණාගාරයක් වන ඩීප්සීක්, 2025 ජනවාරි මාසයේදී අඩු පිරිවැයකින් යුත් ඉහළ කාර්යක්ෂමතාවකින් යුතු Chatbot එකක් හඳුන්වා දෙමින් අමෙරිකානු තාක්ෂණික ආධිපත්යයට දැඩි අභියෝගයක් එල්ල කළේය. අනතුරුව, එම සමාගම විසින් ඉකුත් අප්රේල් මාසයේදී සිය නවතම V4 මාදිලිය එළිදැක්වූ අතර, ඔක්තෝබර් මුලදී එහි වඩාත් වේගවත් හා සැහැල්ලු සංස්කරණයක්ද යාවත්කාලීන කරන ලදී. කෙසේවෙතත්, අමෙරිකානු තාක්ෂණික සමාගම් විසින් සංවර්ධනය කරන ලද අතිනවීන AI මාදිලිවල තාක්ෂණික හැකියාවන් ක්රමානුකූලව සොරාගන්නා බවට අමෙරිකාව විසින් ඩීප්සීක් ඇතුළු ප්රමුඛ චීන AI සමාගම්වලට නිරන්තරයෙන් චෝදනා කරනු ලබයි.

