චමින්ද කුලරත්නගෙන් ජාත්‍යන්තර සමුළුවකට පාර්ලිමේන්තු පර්යේෂණ ප්‍රතිකාවක්

0
23

පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම්වරයකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න මහතා, මෙක්සිකෝවේ පැවැති ජාත්‍යන්තර සමුළුවකට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

‘දක්ෂිණ ගෝලීය රටවල පාර්ලිමේන්තු අභියෝග සහ පරිවර්තනයන්’ යන තේමාව යටතේ මෙක්සිකෝ ජාතික විශ්වවිද්‍යාලයේ (UNAM) පැවැති ‘UNAM–IPSA RC08’ ජාත්‍යන්තර වැඩමුළුවට සහභාගී වෙමින් ඔහු මෙම පර්යේෂණය ඉදිරිපත් කළේය. ජාත්‍යන්තර දේශපාලන විද්‍යාර්ථයින්ගේ සංගමයේ ආරාධනය මත කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂකයෙකු ලෙස ඒ මහතා මෙම අවස්ථාවට එක්විය.

‘විධායකයේ ආධිපත්‍ය සහ ව්‍යවස්ථාදායක සීමාවන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නීති සම්පාදනයේ පරිවර්තනය’ යන මැයෙන් වූ ඔහුගේ පර්යේෂණ පත්‍රිකාව පසුගිය 06 වැනි දින පැවැති ‘නියෝජනය සහ විධායක බලය’ නැමැති සැසියේදී ඉදිරිපත් කෙරිණි. පාර්ලිමේන්තු නීති සම්පාදනය කෙරෙහි විධායකයේ බලපෑම සහ ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වයට පවතින ආයතනික සීමාවන් මෙමඟින් ගැඹුරින් විමර්ශනය කර ඇත.

මෙම සමුළුවේ ආරාධිත දේශකයෙකු ලෙස එක්වූ චමින්ද කුලරත්න මහතා, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ මෙක්සිකෝව ඇතුළු රටවල් නියෝජනය කළ ලෝක ප්‍රකට මහාචාර්යවරුන් සහ විද්වතුන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර, එහිදී ලොව ප්‍රමුඛතම දේශපාලන විද්‍යාර්ථයින්ගේ සංගමයේ සාමාජිකත්වයද ඔහු වෙත හිමි විය.

තවද, මෙම සංචාරයේදී මෙක්සිකෝ කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා, මහ ලේකම්වරයා සහ සෙනෙට් සභාවේ මහ ලේකම් ආචාර්ය අර්තුරෝ ගාරිටා ඇතුළු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නියෝජිතයන් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට කුලරත්න මහතාට අවස්ථාව ලැබිණි. විශේෂයෙන්ම, මෙක්සිකෝ පාර්ලිමේන්තු සභාවාරයක් අතරතුරදී නියෝජිත පිරිස සභා ගර්භයට කැඳවා එරට කොංග්‍රස් සභාපතිවරයා විසින් ඔවුන්ට නිල වශයෙන් පිළිගැනීමක් ලබාදීම ශ්‍රී ලාංකිකයෙකු ලැබූ සුවිශේෂී ගෞරවයක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here