වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගිං ගඟ ද්රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය අද (28) පස්වරු 12.30 සිට තවත් පැය 24ක කාලයකට දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමනාකරණ අංශය සඳහන් කරන පරිදි, මෙම ‘ඇම්බර්’ (Amber) මට්ටමේ ගංවතුර අනතුරු ඇඟවීම හෙට (29) පස්වරු 12.30 දක්වා අඛණ්ඩව ක්රියාත්මක වේ. ගිං ගඟ ද්රෝණියේ ගංවතුර අවදානම තවදුරටත් නොඅඩුව පැවතීම හේතුවෙන් මීට පෙර ඔක්තෝබර් 26 වන දින නිකුත් කළ මෙම නිවේදනය මෙලෙස දීර්ඝ කර ඇත.
ඒ අනුව, ගංවතුරින් පීඩාවට පත් ප්රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම මාර්ග ඔස්සේ, විශේෂයෙන් කුඩා මාර්ග හරහා ගමන් කරන රියදුරන් පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැඩි ලෙස අනතුරු ඇඟවා සිටියි. මීට අමතරව, හදිසි තත්ත්වයන් හමුවේ අවශ්ය සියලු පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ බලධාරීන්ගෙන්ද ඉල්ලා ඇත.

