සිර දඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය සහිතවම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් වෛද්‍ය බී. ඒ. රත්නපාල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක්, උන්වහන්සේ ගිහි ඇඳුමින් හෝ බන්ධනාගාර නිල ඇඳුමින් සැරසීමෙන් තොරව මෙන්ම, මාංචු දමා මාධ්‍යයට හෝ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා ඇත.
තවද, බන්ධනාගාර රීතිවල 156(2) වගන්තියෙන් පනවා ඇති සීමාවන් ඉක්මවා ඥානසාර හිමියන්ගේ රුව ඡායාරූපගත කිරීම, වීඩියෝගත කිරීම, සමාජ මාධ්‍යවල සංසරණය කිරීම, බෙදාහැරීම හෝ ඒ සඳහා කිසියම් අනුමැතියක් ලබා දීම වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

