කොළඹ වරායේ තෙල් කාන්දුවකින් මුතුවැල්ල වෙරළ තීරයේ කිලෝමීටර් 3කට අධික ප්‍රදේශයක් දූෂණයට.

0
2

කොළඹ වරායේ ගබඩා ටැංකියකින් සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් මුතුවැල්ල වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටර් තුනකට අධික වෙරළ ප්‍රදේශයක් දූෂණයට ලක්ව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) පවසයි.

එම අධිකාරිය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම සිදුවීම නොවැම්බර් 21 වැනිදා කොළඹ වරායේ JCT අංක 108 දරන තෙල් ගබඩා ටැංකියේදී සිදුව තිබේ.

ටොන් 1,000ක පමණ ධාරිතාවකින් යුත් එම ටැංකිය සිදුවීම සිදුවන අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම තෙල්වලින් පුරවා තිබූ බව වාර්තා වේ.

Marine Gas Oil (MGO) වර්ගයේ ඉන්ධන කාන්දුව සිදුව ඇත්තේ හානි වූ ජලය බැහැර කිරීමේ කපාටයක් හරහා බවට සැක කෙරේ.

කාන්දු වූ තෙල් මුලින්ම නාගරික ජලාපවහන ඇළ මාර්ගයකට එක්වී ඇති අතර, අනතුරුව මුතුවැල්ල වෙරළ තීරයේ පිහිටි ජලය මුහුදට බැහැර කරන ස්ථානයක් හරහා මුහුදට ගලා ගොස් තිබේ.

මෙම තෙල් කාන්දුව හේතුවෙන් බෝට්ටු ගොඩබෑමේ ස්ථානයක් ද ඇතුළුව වෙරළ තීරයේ කිලෝමීටර් තුනකට අධික ප්‍රදේශයක් බලපෑමට ලක්ව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

සිදුවීම සම්බන්ධයෙන් පෙරවරු 9.30ට පමණ අධිකාරියට දැනුම් දී ඇති අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පෙරවරු 10.30 පමණ වන විට තෙල් කාන්දුව නතර කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, ඒ වන විටත් තෙල් ප්‍රමාණයක් ජලාපවහන පද්ධතියට එක්ව මුහුදට ගලා ගොස් තිබූ බව වාර්තා වේ.

සිදුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධීක්ෂණය යටතේ තෙල් පැතිරීම පාලනය කිරීමේ සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

තවදුරටත් තෙල් පැතිරීම වැළැක්වීම සඳහා මුහුදේ තෙල් රඳවා තබන විශේෂ ආරක්ෂිත බාධක (Oil Containment Booms) යොදවා ඇති අතර, කාන්දු වූ තෙල් එකතු කර ඉවත් කිරීමේ කටයුතු ද සිදු කෙරෙමින් පවතී.

නොවැම්බර් 22 වැනිදා වන විටත් පිරිසිදු කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

පරිසරයට සිදුවිය හැකි හානිය අවම කිරීම සහ බලපෑමට ලක්වූ වෙරළ තීරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ බලධාරීන් තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බව ද එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් මුහුදට කාන්දු වූ තෙල් ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here