මියගිය ‘කාවන්තිස්ස’ හස්තියාගේ මරණයට හේතුව අනාවරණය කරගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඊට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව වැඩබලන මහේස්ත්රාත් කාංචනා හතුරුසිංහ මහත්මිය අද (17) පශු වෛද්ය නිලධාරීන්ට නියෝග කළාය.
මීගලෑව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්. වීරකෝන් මහතා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරිය මෙම නියෝග නිකුත් කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, ඉදිරියේදී ඇත්දළ යුගලය නැවත ලබාගැනීමට හැකිවන පරිදි මළ සිරුර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ආරක්ෂිතව භූමදානය කිරීමටත්, එම ස්ථානයට ප්රමාණවත් ආරක්ෂාවක් සැපයීමටත් අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.
එමෙන්ම කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර එහි ප්රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද දන්වා ඇත. මෙම නඩු කටයුත්ත ඉදිරියේදී ගල්ගමුව ප්රධාන මහේස්ත්රාත් රවීන්ද්ර රංජන් බණ්ඩාර මහතා ඉදිරියේ යළි කැඳවීමට නියමිතය.

