කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය ගැන විවාද කිරීමට අවසර නොදීමෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්.

0
10

කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඇතුළු වරප්‍රසාද ප්‍රශ්න කිහිපයක් වඩිදුර විභාග කිරීම සඳහා වහාම අවසර ලබා දීම නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අද (03) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

විපක්ෂයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේ, අද උදෑසන 9.00න් පසු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් වරප්‍රසාද ප්‍රශ්නවලට අදාළ පිටපත් තමන් වෙත ලැබී ඇති බවයි. එsමඟින් ඉදිරිපත් කර ඇති කරුණු තවදුරටත් තමා විසින් පරීක්ෂා කර නොමැති බැවින්, ඒවා වහාම මතු කිරීමට අවසර දීමට නොහැකි බව ඔහු පැහැදිලි කළේය.

මේ අතර, කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විමර්ශනයට නොගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සஜித் ප්‍රේමදාස මහතා දැඩි විරෝධය පළ කළේය. මෙම තීරණය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කිරීමක් බව ඔහු කියා සිටියේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතුව, චෝදනා 50ක් අඩංගු කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පසුගිය ඔක්තෝබර් 09 වැනි දින පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දුන් බව විපක්ෂ නායකවරයා පැවසීය. ඔක්තෝබර් 12 වැනි දින පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටියට (Order Book) ඇතුළත් කළ මෙම යෝජනාව, පසුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ (Committee on Parliamentary Business) තීරණයක් මත ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඒ හරහා විපක්ෂයට එම චෝදනා පිළිබඳව විවාද කිරීමට තිබූ අවස්ථාව අහිමි කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම යෝජනාව පිළිබඳ විවාදයක් වැළැක්වීම මගින් කථානායකවරයාගේ අපක්ෂපාතීත්වය, පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳ බරපතළ ගැටලු මතු වන බව විපක්ෂ නායකවරයා තර්ක කළේය. තවද, පාර්ලිමේන්තුව තුළ කථන, ප්‍රකාශන සහ විවාද කිරීමේ නිදහසට බාධා එල්ල වෙමින් පවතින බවද හෙතම කියා සිටියේය.

රජයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද තම පාර්ලිමේන්තු අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට සාධාරණ අවස්ථාවක් ලබා දීම සඳහා කථානායකවරයා අපක්ෂපාතීව කටයුතු කිරීමට වගබලා ගත යුතු බව ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. එමෙන්ම, විශ්වාසභංගය විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක්ද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසද ඔහු ඉල්ා සිටියේය.

මෙම ප්‍රකාශයෙන් අනතුරුව, විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නියෝජ්‍ය කථානායකවරයාගේ තීරණයට දිගින් දිගටම විරෝධය දැක්වීමත් සමඟ සභාගර්භය තුළ උණුසුම් වාද-විවාද හටගත්තේය.

විපක්ෂයේ විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා සඳහන් කළේ, අදාළ වරප්‍රසාද ප්‍රශ්න පරීක්ෂා කර අද දින තුළම ඊට පිළිතුරක් ලබා දෙන බවට සහතික වන බවයි. කෙසේ වෙතත්, විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම තීරණයට එරෙහිව අඛණ්ඩව විරෝධය පළ කළ අතර, ඔවුන්ගේ විරෝධතා මධ්‍යයේ වුවද ආණ්ඩුව විසින් නියමිත පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට ගෙන යන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here