එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සීමා කිරීමේ යෝජනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී පරාජයට

0
5

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව සීමා කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී පරාජයට පත් වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

පක්ෂග්‍රාහී පදනමකින් පැවැති මෙම ඡන්ද විමසීමේදී සංශෝධනයට පක්ෂව ඡන්ද 212ක් සහ විරුද්ධව ඡන්ද 206ක් හිමි වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර බලය හිමි නොවීය. මෙහිදී ඩිමොක්‍රටික් පක්ෂයේ ඩොන් ඩේවිස් සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් එකම ඩිමොක්‍රටික් මන්ත්‍රීවරයා වූ අතර, ස්වාධීන මන්ත්‍රී කෙවින් කයිලි ඊට එරෙහිව ඡන්දය භාවිත කළේය.

සමාජවාදය හෙළා දකිමින් ඉදිරිපත් වූ යෝජනාවක් වැඩිඡන්ද 220-192කින් සම්මත කර ගැනීමෙන් පසුදිනම මෙම ඡන්ද විමසීම පැවැත්වීම විශේෂත්වයකි. ඩිමොක්‍රටික් පාක්ෂිකයින් සමාජවාදයට එරෙහි නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පුළුල් කිරීමට අනුබල දෙන බවත් පෙන්වීමේ දේශපාලන උපක්‍රමයක් ලෙස රිපබ්ලිකන් පක්ෂය මෙම කෙටුම්පත් ඉදිරිපත් කර ඇති බව විචාරකයෝ පවසති.

මේ සම්බන්ධයෙන් X ගිණුමේ සටහනක් තබමින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක මයික් ජොන්සන් සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරැකීමට දිවුරුම් දුන් මන්ත්‍රීවරුන් සමාජවාදය හෙළා දැකීමට සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට එරෙහි වීම කණගාටුදායක බවයි.

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථාපිත කර තිබුණද, එහි සිටිය යුතු විනිසුරුවරුන් සංඛ්‍යාව දක්වා නොමැති අතර එම බලතල කොංග්‍රස් මණ්ඩලය සතුවේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී පත්කළ විනිසුරුවරුන් සමඟ අධිකරණයේ පැවති රිපබ්ලිකන් බහුතරය සමබර කිරීම සඳහා විනිසුරුවන් සංඛ්‍යාව 13 දක්වා ඉහළ නැංවීමට 2021දී ද ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් උත්සාහ කර තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here