එංගලන්තයේ නොටින්හැම් නගර මධ්යයේදී රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමේ බරපතල සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වෙඩි ප්රහාරයෙන් පාදයට බරපතල තුවාල ලැබූ අදාළ පොලිස් නිලධාරියා මේ වන විට රෝහල්ගතව ප්රතිකාර ලබමින් පසුවන අතර, ඔහුගේ සෞඛ්ය තත්ත්වය මේ වන විට ස්ථාවර මට්ටමක පවතින බව නොටින්හැම්ෂයර් පොලිසිය තහවුරු කරයි.
පසුගියදා (18) අලුයම 4.50ට පමණ ඇන්ජල් රෝ (Angel Row) ප්රදේශයේ බස් නැවතුමක සැකකටයුතු අයුරින් රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීම සඳහා එම නිලධාරියා ඉදිරිපත් වූ අවස්ථාවේදී මෙම හදිසි වෙඩි තැබීම සිදුවී තිබේ.
අනතුරුව සිදුකළ පුළුල් විමර්ශනවල ප්රතිඵලයක් ලෙස, ඊයේ සවස නොටින්හැම්හි රැඩ්ෆර්ඩ් (Radford) ප්රදේශයේදී විශේෂ වාහන පරීක්ෂාවක් පවත්වා 27 සහ 25 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු සහ 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව, අද අලුයම බෙඩ්ෆර්ඩ්ෂයර් (Bedfordshire) ප්රදේශයේදී තවත් 30 හැවිරිදි පුද්ගලයෙකුද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වූවන්ගෙන් 27 හැවිරිදි කාන්තාව බරපතල ශාරීරික හානි සිදුකිරීමට තැත් කිරීම සහ ජීවිත අනතුරේ හෙළීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස ගිනිඅවියක් ළඟ තබාගැනීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් තිදෙනා ප්රධාන සැකකරුවන්ට අපරාධය සඳහා සහාය වීම (Aiding and abetting) යන සැකය මත අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

