ඉරානය සමඟ පවතින ගැටුම් අතරතුර තවත් අමෙරිකානු හමුදා සාමාජිකාවක් මියගොස් ඇති බව පෙන්ටගනයේ නිල දත්ත ඇසුරෙන් The Washington Post පුවත්පත වාර්තා කරයි.
මියගොස් ඇත්තේ දකුණු කැරොලිනාහි ෂෝ (Shaw) ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව, කටාර්හි දෝහා නුවර මෙහෙයුම් සඳහා සහාය දක්වමින් සිටි 37 හැවිරිදි කපිතාන් බියන්කා සී. විල්කර්සන් (Bianca C. Wilkerson) නැමැති නිලධාරිනියයි.
සැප්තැම්බර් 18 වන දින මැදපෙරදිග බලා පියාසර කරමින් සිටියදී සිදුවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් ඇය මියගොස් ඇති අතර, එය සටන්වලට සෘජුව සම්බන්ධ නොවන සිදුවීමක් බව අමෙරිකානු යුද හමුදාව තහවුරු කර ඇත.
මෙම මරණය පසුගිය සඳුදා පස්වරුවේ පෙන්ටගන නිල දත්ත පද්ධතියට එක් කිරීමත් සමඟ, ඉරාන අර්බුදය ඇරඹුණු පසු මියගිය බවට පෙන්ටගනය නිල වශයෙන් තහවුරු කළ අමෙරිකානු හමුදා සාමාජිකයින් ගණන 19 දක්වා ඉහළ ගොස් තිබේ.

