ඉරානයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෙහෙර්දාද් අක්ලාගි පත් කෙරේ

0
10

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ පවතින උණුසුම් යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වී ඇති පසුබිමක් තුළ, ඉරානයේ නව ආරක්ෂක අමාත්‍යවරයා සහ සන්නද්ධ හමුදා සැපයුම් ප්‍රධානියා ලෙස මෙහෙර්දාද් අක්ලාගි කෙටබ්චි (Mehrdad Akhlaghi Ketabchi) මහතා පත් කර තිබේ.

ඉරාන පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකදී මන්ත්‍රීවරුන් 237 දෙනෙකුගේ දැවැන්ත අනුමැතියක් ලබා ගනිමින් 68 හැවිරිදි අක්ලාගි මහතා මෙම තනතුරට පත්ව ඇත. ඊට විරුද්ධව ප්‍රකාශ වී ඇත්තේ ඡන්ද 15ක් පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අසීස් නසීර්සාදේ මහතා යුද්ධයේ මුල් දිනවලදී ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු සමඟ ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් මෙම පුරප්පාඩුව නිර්මාණය වී තිබිණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ඒ ආශ්‍රිත ආයතනවල වසර 42කට අධික දීර්ඝ සේවා පළපුරුද්දක් ඇති අක්ලාගි මහතා, ප්‍රධාන වශයෙන් බැලස්ටික් මිසයිල තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය සහ හමුදා-කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි විශේෂඥයෙකු ලෙස සැලකේ. ඔහු මීට පෙර අභ්‍යවකාශ කර්මාන්ත සංවිධානයේ මෙන්ම ආරක්ෂක කර්මාන්ත සංවිධානයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත.

තම නව පත්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ, අමෙරිකානු ජනාධිපතිවරයාගේ තර්ජන හමුවේ තමන් කිසිදු බියකින් තොරව රට වෙනුවෙන් පෙනී සිටින බවත්, ඉරානයට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පූර්ණ සූදානමින් සිටින බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here