ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ක්ෂය රෝග නාශක ඖෂධ ටොන් 3ක්

0
45

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතියට සහාය පළකිරීමේ තවත් එක් පියවරක් ලෙස ඉන්දියාව විසින් මෙරටට ක්ෂය රෝග නාශක (Anti-Tuberculosis) ඖෂධ ටොන් තුනකට ආසන්න ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130J විශේෂ ප්‍රවාහන ගුවන් යානයක් මගින් මෙම ඖෂධ තොගය කොළඹ වෙත ගුවනින් රැගෙන ආ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් මහතා තහවුරු කළේය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නැංවීම සඳහා සහ මහජන සෞඛ්‍ය පද්ධතිය සබල ගැන්වීම වෙනුවෙන් ඉන්දියාවේ නිරන්තර සහයෝගය ඉදිරියටත් හිමිවන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත ලබාදෙන දිගුකාලීන සහන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස මෙම ඖෂධ තොගය ලබාදී ඇත.