අල්ලස් චෝදනාවලට වැරදිකරු වූ ඉක්වදෝරයේ හිටපු ජනපති ලෙනින් මොරෙනෝට වසර 5 ක සිරදඬුවමක්

0
3

ඉක්වදෝරයේ විශාලතම ජල විදුලි බලාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතියකට අදාළව සිදු වූ මහා පරිමාණ අල්ලස් ලබාගැනීමේ චෝදනාවලට වැරදිකරු වූ හිටපු ජනාධිපති ලෙනින් මොරෙනෝට (Lenín Moreno) වසර පහක සිරදඬුවම් නියම කර තිබේ. ඉක්වදෝර නීතිපති කාර්යාලය විසින් අගෝස්තු 29 මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

73 හැවිරිදි වියෙහි පසුවන හිටපු ජනාධිපතිවරයාට පනවා ඇති සිරදඬුවමට අමතරව, ඔහුට අනාගතයේදී කිසිදු රජයේ තනතුරක් දැරීමද ස්ථිරවම තහනම් කර ඇත.

රටේ විශාලතම ජල විදුලි බලාගාරය වන ‘කොකා කොඩෝ සින්ක්ලෙයාර්’ (Coca Codo Sinclair) ව්‍යාපෘතිය ආශ්‍රිතව සිදුවූ අල්ලස් ජාලයක් සම්බන්ධයෙන් නීතිපති කාර්යාලය විසින් 2023 මාර්තු මාසයේදී විමර්ශන ආරම්භ කරන ලදී. එම දූෂණ ජාලයට ලෙනින් මොරෙනෝ, ඔහුගේ පවුලේ සාමාජිකයින්, දේශීය ව්‍යාපාරිකයින් මෙන්ම චීන සමාගම් නියෝජිතයින්ද සම්බන්ධ බවට අනාවරණය විය. 2016 වසරේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ මෙම ජල විදුලි බලාගාරය, ආරම්භයේ සිටම තාක්ෂණික දෝෂ රැසකට ලක්වූවකි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මණ්ඩලයේ ප්‍රධානී මැනුවෙල් කැබ්රේරා සඳහන් කළේ, “ලෙනින් මොරෙනෝගේ ක්‍රියාකලාපය රාජ්‍ය නිලධාරියෙකු විසින් සිදුකරන ලද අල්ලස් ගැනීමේ වරදට අදාළව පැමිණිල්ල ඉදිරිපත් කළ චෝදනා සමඟ සෘජුවම සැසඳෙන” බවයි.

නීතිපති කාර්යාලයට අනුව, චීන රාජ්‍ය හිමිකාරීත්වය සහිත ‘සිනොහයිඩ්‍රෝ’ (Sinohydro) සමාගම විසින් 2009 සහ 2018 අතර කාලය තුළ ව්‍යාජ උපදේශන කොන්ත්‍රාත්තු හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 76.1 කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබාදී ඇත.

මෙම නඩුවේදී මොරෙනෝගේ බිරිඳ, දියණිය, ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් ද වැරදිකරුවන් වී ඇති අතර, ඔවුන්ට වසර දෙකහමාරක සිරදඬුවම් නියම කර තිබේ. මීට අමතරව, ක්විටෝ නුවර සිටි හිටපු චීන තනාපති සායි රුන්ගුඕ (Cai Runguo) හට ද වසර පහක සිරදඬුවමක් පනවා ඇත.

2007 සිට 2013 දක්වා කාලය තුළ මොරෙනෝ උපජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, මෙම අල්ලස් මුදල් බදු සහන සහිත විදේශීය ගිණුම් සහ ව්‍යාජ සමාගම් හරහා සංසරණය වී මොරෙනෝ ඇතුළු ඔහුගේ පවුලේ සමීපතමයන් වෙත ගොස් ඇති බවත්, එමගින් ඔවුන් ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලක් ලබාගෙන ඇති බවත් පරීක්ෂකයන් විසින් අධිකරණය හමුවේ තහවුරු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here