සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ සංදේශයක් භාර දී තිබේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන්ගේ සහ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නාහිමියන්ගේ අත්සනින් යුතු මෙම සංදේශය, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා වෙත භාරදෙන ලදී.
එමෙන්ම හින්දු ප්‍රජාව නියෝජනය කරමින් හින්දු පූජක සංගමයේ සහ සමස්ත ලංකා හින්දු සංස්කෘතික සභාවේ සභාපති ආචාර්ය සිවාශ්‍රී කේ.වී.කේ. වෛතීස්වර කුරුක්කල්තුමා විසින් ද වෙනම සංදේශයක් ඉදිරිපත් කළේය.
පූජ්‍ය පාගොඩ ජන්තවංශ හිමි, පූජ්‍ය වේපටයිර ධම්මසිරි හිමි, සිවශ්‍රී කුගතාස කුරුක්කල්තුමා, නීතිඥ තනුජා නවරත්න සහ සමාජ ක්‍රියාකාරී ආර්.ඒ. අමිල සංජීව යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

