මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. අද දෙරණ වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඊට සමගාමීව අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ද එදිනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ තීරණයට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම ජාත්‍යන්තර සංවිධාන රැසකගෙන් ද දැඩි විරෝධයක් එල්ල විය. එම විරෝධතා මධ්‍යයේ වුවද, රජය විසින් අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් 7 වැනිදා ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී.
පසුගියදා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවේදී ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංශෝධනය සිදුකළ යුතු බවට වූ ස්ථාවරයේම පසුවිය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට දින 14ක කාලයක් හිමිවේ. අනතුරුව අදාළ පෙත්සම් විභාග කර දින 3ත් 21ත් අතර කාලසීමාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුව වෙත දැනුම් දිය යුතුවේ.

