අගෝස්තු මාසයේ ගෙවුණු දින 9ට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 4,292ක්

0
17

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, වසරේ මේ දක්වා කාල සීමාව තුළ සමස්ත රෝගීන් 89,639 දෙනෙකු හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් වේ. තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් දිවයින පුරා අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 119ක් හඳුනාගෙන ඇත.

මාසික දත්ත දෙස බැලීමේදී වඩාත්ම දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම මාසයේ පමණක් රෝගීන් 29,973 දෙනෙකු වාර්තා වී තිබේ. ඊට අමතරව ජූනි මාසයේදී රෝගීන් 21,533ක්, මැයි මාසයේදී 8,590ක්, ජනවාරි මාසයේදී 7,866ක්, මාර්තු මාසයේදී 6,013ක්, පෙබරවාරි මාසයේදී 5,721ක් සහ අප්‍රේල් මාසයේදී 5,651ක් ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම, අගෝස්තු මාසයේ මුල් දින නවය තුළ පමණක් රෝගීන් 4,292 දෙනෙකු වාර්තා වීමෙන් පෙන්නුම් කරන්නේ රෝග ව්‍යාප්තියේ තවදුරටත් පවතින ඉහළ යෑමයි.

පළාත් මට්ටමින් සලකා බැලීමේදී සමස්ත රෝගීන්ගෙන් සියයට 52.93ක්, එනම් රෝගීන් 47,445 දෙනෙකු වාර්තා වෙමින් බස්නාහිර පළාත දැඩිම අවදානම් කලාපය බවට පත්ව ඇත. ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,302ක්, මධ්‍යම පළාතෙන් 7,971ක්, සබරගමුව පළාතෙන් 7,383ක්, වයඹ පළාතෙන් 4,465ක්, නැගෙනහිර පළාතෙන් 3,703ක්, ඌව පළාතෙන් 2,482ක්, උතුරු මැද පළාතෙන් 1,574ක් සහ උතුරු පළාතෙන් රෝගීන් 1,314ක් ලෙස වාර්තා වේ.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එය සමස්ත සංඛ්‍යාවෙන් සියයට 21.27කි. අනෙකුත් දිස්ත්‍රික්ක අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,765ක් (කොළඹ මහා නගර සභා බලප්‍රදේශයේ රෝගීන් 3,613ක් ඇතුළත්ව), මහනුවරින් 6,366ක්, මාතරින් 5,953ක්, කළුතරින් 5,841ක්, ගාල්ලෙන් 4,936ක් සහ රත්නපුරයෙන් රෝගීන් 4,860ක් ලෙස වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here