ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලයේ ‘Odyssey of Achievers 2026’ වාර්ෂික තිළිණ ප්‍රදානෝත්සවය උත්කර්ෂයෙන් පැවැත්විය

0
4

කොළඹ ඓතිහාසික ටවර් හෝල් රඟහල දෙදිරවමින්, ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය වන ‘Odyssey of Achievers 2026’ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. විදුහල්පතිනි එම්. එච්. මුම්තාස් බෙගම් මහත්මියගේ (SLEAS) දුරදක්නා නායකත්වය යටතේ පැවති මෙම උත්සවය, සිසුවියන්ගේ අධ්‍යාපනික සහ කාර්ය මණ්ඩලයේ කැපවීම ඇගයීමට ලක්කළ සුවිශේෂී අවස්ථාවක් විය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු හනීෆ් යුසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අයි. ඩී. ඩී. සී. ඉද්දමල්ගොඩ, කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (වැඩබැලූ) එච්. ඒ. කේ. යූ. අයි. හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ ප්‍රධාන මහාචාර්ය ෆරීනා රුසායික් සහ විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන සමාජ විද්‍යා මහාචාර්ය ජේ. ඩී. කරීම්දීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

මෙහිදී මෑත වසරවල විශිෂ්ට දස්කම් දැක්වූ සිසු සිසුවියන් ඇගයීමට ලක් කෙරුණු අතර, ඒ යටතේ 2025 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ දස්කම් දැක්වූ සිසුවියන් 9 දෙනෙක්, 2021 සිට 2025 දක්වා අ/පො/ස සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුවියන් 140 දෙනෙක් සහ 2021 සිට 2025 දක්වා අ/පො/ස උසස් පෙළ විභාගයෙන් සමත් වූ විශිෂ්ට සිසුවියන් 103 දෙනෙක් ඇගයීමට ලක්විය. ඊට අමතරව, විශිෂ්ට සේවය වෙනුවෙන් කැපවූ ගුරුවරුන් 77 දෙනෙක් සහ ආදර්ශවත් පැමිණීම වාර්තා කළ ගුරුවරුන් 2 දෙනෙක්ද මෙහිදී විශේෂ සම්මානවලින් පිදුම් ලැබූහ.

උත්සව සභාව අමතමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා අවධාරණය කළේ, සැබෑ අධ්‍යාපනය යනු විභාග ප්‍රතිඵලවලට පමණක් සීමා නොවී චරිතය, නායකත්වය, අනුකම්පාව සහ සමාජ වගකීම හැඩගස්වන මෙවලමක් බවයි. විදුහල්පතිනි එම්. එච්. මුම්තාස් බෙගම් මහත්මිය විසින් වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් සිසුන්ගේ ජයග්‍රහණ පිටුපස ඇති ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ කැපවීම අගය කළාය.

සිසුවියන් ඉදිරිපත් කළ ආකර්ෂණීය පිළිගැනීමේ නර්තනයක්, කසීදා (Qaseedha) ගායනයක් සහ ආලෝක නර්තනාංගයකින් (Light Dance) උත්සවයේ වර්ණවත් බව තවත් වැඩි වූ අතර, මෙය අනාගත පරපුරට ප්‍රබෝධයක් ගෙන දෙන අමතක නොවන අත්දැකීමක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here