හෙට (30) සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කියයි.

0
7

2026 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය එළඹෙන දෙසැම්බර් මස 04 වැනිදායින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසයි.

​අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

​හෙටින් (නොවැම්බර් 30) ආරම්භ වන සතිය 2026 අධ්‍යයන වර්ෂයේ තෙවන වාරයේ අවසාන සතිය වන අතර, ඒ පිළිබඳව සියලුම අදාළ පාර්ශ්වයන් මේ වන විටත් දැනුවත් කර ඇති බව ඒ මහතා පැවසීය.

​මෙම වසරේ මුල් භාගයේදී ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් විභාග කල් දැමීමට සිදුවීම නිසා, මුලින් සැලසුම් කර තිබූ පාසල් දින 197ක ප්‍රමාණය දින 186ක් දක්වා සීමා කිරීමට සිදුවිය. ඒ හේතුවෙන් තවදුරටත් පාසල් දින අඩු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

​මේ වන විටත් ඇතැම් පාසල්වල වාර අවසාන විභාග අවසන් කර ඇති අතර, තවත් පාසල් විෂය බාහිර කටයුතු සංවිධානය කර තිබේ. එබැවින්, කිසිදු බාධාවකින් හෝ වෙනසකින් තොරව සැලසුම් කළ පරිදිම මෙම සතිය තුළ සියලු පාසල් කටයුතු අවසන් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

​ඒ අනුව, හෙට (නොවැම්බර් 30) දිනය සාමාන්‍ය පාසල් දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයා දෙමාපියන්ගෙන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටී. එදිනට නියමිත විභාග ඇතුළු සියලුම අධ්‍යයන හා විෂය බාහිර කටයුතු කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක වන බැවින් ඒ සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here