ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංගමයේ (IORA) 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව මෙම සාකච්ඡාව පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ මාලදිවයින් විදේශ අමාත්‍ය ඉරුතිෂාම් ආදම් (Iruthisham Adam) මහත්මිය හමුවී අදහස් හුවමාරු කරගෙන ඇත.
මෙම හමුව පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර ඇත්තේ, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමටත්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්රයන්හි සහයෝගීතාව ඉදිරියට ගෙන යාමටත් දෙපාර්ශ්වයේම පවතින පොදු කැපවීම මෙහිදී යළිත් තහවුරු කළ බවයි.
දෙරට අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය පදනම් කරගනිමින්, ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට වැදගත් වන ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වී තිබේ.

