ශ්‍රී ලංකා අමරපුර නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ඉසිපතනාරාමාධිපති පූජ්‍ය කිහිඹියේ විජිත නාහිමිපාණෝ අපවත් වෙති

0
2

කොළඹ 05 හැව්ලොක්ටවුන් ඉසිපතනාරාම මහා විහාරාධිපති, අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, පණ්ඩිත කිහිඹියේ විජිත නාහිමිපාණන් වහන්සේ පුරා වසර අසූ අටක් (88) ආයු වළඳා පසුගිය 09 වැනි දින සිහි නුවණින් යුතුව අපවත් වී වදාළහ.

විනයධර, ධර්මධර, බහුශ්‍රැත, සුකේශල, ශික්ෂාකාමී සංඝපිතෘන් වහන්සේ නමක් වූ අප නායක යොකණෝ (නාහිමිපාණෝ) 1938 පෙබරවාරි 22 වැනි දින ගොල්ල බද්දේගම ̎කිහිඹිය ̎ නම් ග්‍රාමයේ දී කනවිල් පියසේන නමින් උපත ලබා ඇත. උන්වහන්සේගේ දෙමව්පියන් වූයේ හැරිසන් වැලිවිටියගොඩ සහ පොඩි නෝනා යන මහත්ම මහත්මීන් ය.

වදුරඹ කල්ල්වල වික්‍රමසිංහ විදුහලින් මූලික අධ්‍යාපනය ලබා 1954 දෙසැම්බර් මස 30 වැනි දින එඩ්වඩ් හන්රි වේදිරිස් වීරයා සිහිවීම පිණිස එතුමගේ දෙමව්පියන් ඇතුළු වේදිරිස් පවුලේ දානපතියන්ගේ පරිත්‍යාගයෙන් ගොඩනැගුණු ඓතිහාසික හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරස්ථානයේ දී පැවිදි බිමට පත්වූහ. උන්වහන්සේගේ ආචාර්යවරයන් වහන්සේලා වූයේ එවකට ඉසිපතනාරාමාධිපතිව වැඩ විසූ දංකගදර විමලධම්ම නායක හිමිපාණන් වහන්සේ, නියෝජ්‍ය විහාරාධිපති ගල්කිස්සේ ඤාණින්ද නායක හිමිපාණන් වහන්සේ සහ ගම්පොළ රත්තතැටිය සිරිසුමනජෝති පිරුවන් අධ්‍යක්ෂ ගෝකලේ කේමානන්ද නායක හිමිපාණන් වහන්සේලා ය.

ගම්පොළ සිරි සුමනජෝති පිරුවනින් මූලික අධ්‍යාපනය ලබා, කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරී ශාස්ත්‍රවේදී උපාධිය හිමිකරගත් උන්වහන්සේ, ප්‍රාචීන භාෂා ශාස්ත්‍රාදිය මෙන්ම සූර විනයෝධී භික්ෂුවකට අවශ්‍ය ශාසනික ආචාර ධර්ම මැනවින් ප්‍රගුණ කළහ.

අනතුරුව, කිහිඹියේ විජිත සාමණේරයන් වහන්සේ 1959 ජුලි 10 වැනි දින ගෝකල් මහමෝදර ගින්ගඟ උදකුක්ඛේප සීමామාලකයේ දී, අතිගරු දංකගදර විමලධම්ම නායක හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායේ මහා සංඝරත්නය ඉදිරියේ සුපිරිශුද්ධෝපසම්පදාව ලබාගත්තහ.

1956 වර්ෂයේ දී දංකගදර විමලධම්ම නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව අතිගරු ගල්කිස්සේ ඤාණින්ද හිමිපාණෝ හැව්ලොක්ටවුන් ඉසිපතනාරාමාධිපති ධුරයට පත්වූහ. උන්වහන්සේ කර්කශ ග්ලෝකොමා රෝගයෙන් පීඩාවට පත්වීම හේතුවෙන් විහාරාධිපතිත්වයේ වගකීම උන්වහන්සේගේ ශිෂ්‍ය කිහිඹියේ විජිත හිමියන්ට පැවැරුණි.

එවකට ගම්පොළ රත්තතැටිය පිරුවනේ ධර්මාචාර්යවරයකු වශයෙන් සේවය කළ උන්වහන්සේ විහාරස්ථානයේ කෘත්‍යාධිකාරී කටයුතු නිසාම පන්නිපිටිය විද්‍යාලංකාර පිරුවනෙහි සේවයට ඇතුළත්ව ගුරුවරයකු වශයෙන් අගනා සේවයක් ඉටු කළහ.

1970 වර්ෂයේ දී සිය නිකායික සංඝ සභාව මගින් නිල වශයෙන්ම ඉසිපතනාරාමාධිපති ධුරයට පත් කළ උන්වහන්සේ සිය කාලය ශ්‍රමය ධනය වැය කරමින් ඉසිපතනාරාම මහා විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් ද දායක දායිකාවන්ගේ ආගමික අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් ද සිය ජීවිතය කැප කළහ.

වර්තමානයේ විහාරස්ථානයේ පවතින සංඝාවාසය, සතර මහා දේවාලය, ධාතු මන්දිරය, පෙර පාසල් ශාලාව, දාන ශාලාව යන විහාරාරෝංග උන්වහන්සේගේ අනුශಾಸනා පරිදි ඉදි කළහ. එඩ්වඩ් හන්රි වේදිරිස් වීරයාගේ සිහි වටනයක් හැටියට ඉදිකොට තිබූ ධර්ම ශාලාව, බුද්ධ මන්දිරය, පුස්තකාල ධර්ම ශාලාව ආදී ඉපැරැණි ගොඩනැගිලි සියල්ලම ප්‍රතිසංස්කරණය කිරීමේ දී දායක සභාව, විහාර ආරක්ෂක සමිතිය ඇතුළු සමිති සමාගම්වල ද සහයෝගයෙන් සියලු විහාරාරෝංග යුගයට ගැළපෙන පරිදි විශාල ධනයක් වැයකොට ප්‍රතිසංස්කරණය කළහ.

එකසැම පුරා වසර විසිතුනක් අඛණ්ඩව වාර්ෂික පොසොන් පොහෝදා මිහින්තල පුදබිමක දී සිසිල් පැන් දන්සලක් ද පවත්වාගෙන ගිය අතර විහාරස්ථානයේ පොහෝය වැඩසටහන සහ දහම් පාසල ආදී කුදු මහත් සියලු ජෝති ආගමික ශාසනික අධ්‍යාපනික කටයුතු මෙන්ම සමාජ සේවය ද ඉහලින්ම පවත්වාගෙන ගියහ.

උන්වහන්සේ විසින් රැගෙන එන ලද ශාසනික මෙහෙවර එකලසම පවත්වාගෙන යෑම සඳහා තඹිරිගස්යාය සාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී, අධ්‍යාපනපති, ශාස්ත්‍රපති, පණ්ඩිත වග විජිතවංස හිමි, ශාස්ත්‍රවේදී, වලසුල්ගමිත හිමි ඇතුළු හිමිවරු කිහිප නමක් ම රටට දායාද කළහ.

ප්‍රවීණ ගුවන්විදුලි සහ රූපවාහිනී විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේ නමක් වූ උන්වහන්සේ ධර්ම ප්‍රචාරක මෙහෙවර වෙනුවෙන් තායිලන්තය, බුරුමය, ජපානය ආදි රටවල ද සංචාරය කොට තිබේ.

සීලවෘද්ධ තපෝවෘද්ධ ගුණෝවෘද්ධ සංඝපිතෘන් වහන්සේ නමක් වූ අතිගරු කිහිඹියේ විජිත නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මෙම මස 12 වන බ්‍රහස්පතින්දා ප.ව. 2.00 ට විහාරස්ථානයේ දී ආගමික කටයුතු පවත්වා ඉන් අනතුරුව එඩ්වඩ් හන්රි වේදිරිස් ක්‍රීඩාංගණයේ දී සිදු කෙරේ.

අපවත් වී වදාළ අතිගරු කිහිඹියේ විජිත නාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුවය ම ලැබේවා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here