විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහ නියෝගය වෙනස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප

0
18

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසල භික්ෂූන් වහන්සේලා පිරිසක් අඛණ්ඩව රැඳීසිටීම වළකමින් ඊයේ (22) නිකුත් කරන ලද අධිකරණ නියෝගය කිසිදු වෙනසකට ලක් නොකරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23) ප්‍රකාශ කළේය.

භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය ආසන්නයේ භික්ෂූන් වහන්සේලාට දිගටම රැඳී සිටීමට අවසර ලබා දෙන ලෙස අදාළ නියෝගය සංශෝධනය කරන මෙන් ඉල්ලා සිටියහ. එහෙත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, නියෝගය එලෙසම පවතින බව අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මෙම අධිකරණ නියෝගය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පුද්ගලයින් කිහිප දෙනෙකු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමද මහේස්ත්‍රාත්වරයා විසින් ඉවත දමනු ලැබීය. එවැනි වරෙන්තුවක් නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු මේ අවස්ථාවේදී අනාවරණය වී නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, අවශ්‍ය නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ නීතිමය ප්‍රතිපාදනවලට අනුව කටයුතු කිරීමට පොලිසියට බලය ඇති බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here