විදේශ රටවල AI දත්ත මධ්‍යස්ථාන ඉදිකරන ඇමෙරිකානු සමාගම්වලට දැඩි බදු පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

0
4

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන විදේශ රටවල ඉදිකරන ඇමෙරිකානු තාක්ෂණික සමාගම්වලට දැවැන්ත බදු සහ දඬුවම් පැනවීමට කටයුතු කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

පසුගිය සිකුරාදා ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

චීනය විසින් එම දත්ත මධ්‍යස්ථාන අත්පත් කර ගැනීමේ අවදානමක් පවතින බැවින් ඇමෙරිකානු සමාගම්වලට වෙනත් රටවල දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට ඉඩ නොදෙන බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

එවැනි ව්‍යාපෘති විදේශ රටවල ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන සමාගම්වලට දැඩි දඬුවම් පනවන බව ද ඔහු අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආකාරය හෝ ඒ සඳහා ගනු ලබන නීතිමය පියවර පිළිබඳව ට්‍රම්ප් මෙතෙක් නිශ්චිත තොරතුරු හෙළි කර නොමැත. එමෙන්ම තම රජයේ නිලධාරීන් සමඟ පවා මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා කර නොමැති බව ඔහු සඳහන් කර ඇත.

මේ අතර, ඇමෙරිකාව තුළ දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට ජනතාව සහාය දැක්විය යුතු බවත්, එවැනි ව්‍යාපෘති තම ප්‍රදේශවලට ගෙන ඒමේදී ඒවා ඉදිකරන සමාගම්වලින් ප්‍රජාවට ප්‍රතිලාභ ලබාගත යුතු බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට විරුද්ධ නොවී, ඒ වෙනුවට ඒවා ඉදිකරන සමාගම්වලින් තම ප්‍රදේශයට සහ ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමට කටයුතු කළ යුතු බව ද ඔහු අවධාරණය කර ඇත.

මේ අතර, ඇමෙරිකාවේ බලශක්ති අවශ්‍යතාව ඉහළ යාමත් සමඟ විදුලි සැපයුම වැඩි කිරීම සහ විදුලි මිල පහළ දැමීම අරමුණු කරගත් නව පනත් කෙටුම්පතක් ඇමෙරිකානු සෙනෙට් සභාව විසින් පසුගිය බ්‍රහස්පතින්දා අනුමත කර තිබේ.

විදුලි බලාගාර, විදුලි සම්ප්‍රේෂණ මාර්ග සහ අනෙකුත් බලශක්ති යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා අවශ්‍ය අවසර ලබාගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණකි.

එමෙන්ම විශාල බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ගතවන කාලය අඩු කිරීම සහ දත්ත මධ්‍යස්ථාන මඟින් භාවිත කරන විදුලිය සඳහා වන පිරිවැය මෙන්ම පුළුල් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමේ වියදම් ද අදාළ සමාගම් විසින් දැරිය යුතු බවට මෙහි ප්‍රතිපාදන ඇතුළත් වේ.

සෙනෙට් සභාව විසින් අනුමත කරන ලද මෙම පනත් කෙටුම්පත ඉදිරි අනුමැතිය සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.

එම පනත් කෙටුම්පත අගය කරමින් අදහස් දැක්වූ ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ එමඟින් ඇමෙරිකාව තුළ නව ඉදිකිරීම් ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ආරම්භ වනු ඇති බවයි.

මේ අතර, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ එයට අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළ දේශපාලන හා මහජන විරෝධතා ද වර්ධනය වෙමින් පවතී.

දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි ප්‍රමාණයක් අවශ්‍ය වීම, බලශක්ති පිරිවැය සහ ප්‍රාදේශීය ජනතාවට ඇතිවන බලපෑම් හේතුවෙන් එම ව්‍යාපෘති පිළිබඳ විවාදය තවදුරටත් උණුසුම් වී තිබේ.

ඒ අනුව, කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයට සහාය දක්වන ට්‍රම්ප් පාලනය යටතේ වුවද, AI සමාගම් සහ දත්ත මධ්‍යස්ථාන සංවර්ධකයන් සඳහා ඉදිරියේදී වඩාත් දැඩි නියාමන පරිසරයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here