ලෝකය නව අවිධිමත් යුගයකට. චීනයේ බලය, ඇමරිකාවේ අර්බුදය සහ මැදපෙරදිග අනාගතය ගැන වඩාහ් ඛන්ෆර්ගේ විග්‍රහය

0
13
වඩාහ් ඛන්ෆර් අල් ජසීරා මාධ්‍ය ජාලයේ හිටපු ප්‍රධානී සහ ඊස්ට් ෆෝරම් (East Forum) සභාපති


“ලෝකය නව ලෝක පර්යායකට නොව, ලෝක අවිධිමත්භාවයේ යුගයකට පිවිසෙමින් සිටිනවා”
යන අදහස ඉදිරිපත් කරමින් අල් ජසීරා මාධ්‍ය ජාලයේ හිටපු ප්‍රධානී සහ ඊස්ට් ෆෝරම් (East Forum) සභාපති වඩාහ් ඛන්ෆර් (Wadah Khanfar) වර්තමාන ගෝලීය දේශපාලන හා ආර්ථික පරිවර්තනයන් පිළිබඳ පුළුල් විග්‍රහයක් සිදුකර තිබේ.

අරාබි ලෝකයේ ප්‍රමුඛ දේශපාලන විශ්ලේෂකයකු ලෙස සැලකෙන වඩාක් ඛන්ෆර්, නොවැම්බර් 20 වැනිදා විකාශය වූ ‘පොඩ්කාස්ට් අල් ෂර්ක්’ (Podcast Al Sharq) වැඩසටහනේදී මාධ්‍යවේදී අබ්දුල් රහ්මාන් නාසර් සමඟ පැය දෙකකට අධික කාලයක් පැවති සාකච්ඡාවකදී මෙම අදහස් පළ කර ඇත.

‘චීන සමුළුව සහ ලෝක අවිධිමත්භාවයේ යුගය’ (China Summit and the Era of Global Disorder) යන මාතෘකාව යටතේ පැවති මෙම සාකච්ඡාවේදී ඇමරිකාව, චීනය සහ රුසියාව අතර බල අරගලය, ඉරාන යුද්ධයේ බලපෑම, මැදපෙරදිග නව සන්ධාන, යුරෝපයේ අර්බුදය සහ අනාගත ලෝක මූල්‍ය පද්ධතිය පිළිබඳව ඔහු කරුණු රැසක් පැහැදිලි කර තිබේ.

Trump China summit with Putin and Xi high on spectacle

1. චීනයේ ත්‍රෛපාර්ශ්වික සමුළුවේ සැබෑ අර්ථය

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර චීනයේ පැවැත්වෙන හමුව ලෝක ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සරලව හැඳින්විය නොහැකි බව ඛන්ෆර් පෙන්වා දෙයි.

ඔහුට අනුව, මෙය 1945 වසරේ පැවති යාල්ටා හෝ පොට්ස්ඩෑම් සමුළු මෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු නව ලෝක පර්යායක් ස්ථාපිත කළ අවස්ථාවක් නොවේ.

ඒ වෙනුවට පැරණි ලෝක පර්යාය බිඳවැටෙමින් තිබුණද, ඒ වෙනුවට නව පර්යායක් තවමත් ස්ථාපිත වී නොමැති සංක්‍රාන්තික අවධියක් ලෙස වර්තමාන තත්ත්වය ඔහු විග්‍රහ කරයි.

ඇමරිකාව සහ රුසියාව අර්බුදවලට මුහුණ දෙද්දී චීනයට ලැබෙන වාසිය

ඇමරිකාව ඉරානය සමඟ යුද්ධයකට මැදිවීමත්, යුරෝපා සහ කලාපීය මිත්‍ර රටවල් සමඟ සබඳතා නැවත සකස් කර ගැනීමට සිදුවීමත් හේතුවෙන් දැඩි පීඩනයකට මුහුණ දෙමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

රුසියාව ද යුක්රේන යුද්ධය හේතුවෙන් විශාල මානව හා ආර්ථික පිරිවැයක් දරමින් සිටින අතර, එම යුද්ධයෙන් ගෞරවය ආරක්ෂා කරගනිමින් පිටවීමේ මාර්ගයක් සොයන තත්ත්වයක පසුවන බව ඔහුගේ අදහසයි.

මේ අතර චීනය වඩාත් සන්සුන් හා වාසිදායක ස්ථානයක සිටින බව ඛන්ෆර් පෙන්වා දෙයි. ඇමරිකාව සහ රුසියාව යුදමය අර්බුදවලට අවධානය යොමු කර සිටින අතරතුර, චීනයට සිය ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික බලය තවදුරටත් වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබී තිබේ.

කිසින්ජර්ගේ උපායමාර්ගය යළිත්?

ඇමරිකාව චීනය සහ රුසියාව සමඟ සබඳතා කළමනාකරණය කිරීමට දරන උත්සාහය 1970 දශකයේ හෙන්රි කිසින්ජර් අනුගමනය කළ රාජ්‍යතාන්ත්‍රික උපායමාර්ගය සිහිගන්වන බව ද ඛන්ෆර් පවසයි.

එහි අරමුණ වූයේ චීනය සහ රුසියාව අතර සමීප සබඳතාවක් ඇතිවීම වැළැක්වීම සඳහා ඔවුන් අතර පැවති ඓතිහාසික හා භූදේශපාලනික වෙනස්කම් ප්‍රයෝජනයට ගැනීමයි.

Iran war updates: Yemen’s army says ‘repositioning’ troops from Red Sea

2. ඉරානය සමඟ යුද්ධය සහ මැදපෙරදිග බටහිර බලපෑම දුර්වල වීම

මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් බටහිර රටවල උපායමාර්ගික ප්‍රවේශය ඓතිහාසිකව ප්‍රධාන කරුණු දෙකක් මත පදනම් වී තිබූ බව ඛන්ෆර් පෙන්වා දෙයි.

එනම් කලාපයේ ඇතිවන බල රික්තය පිරවීම සහ බටහිර ආර්ථිකයට මෙන්ම ඩොලරයේ ජාත්‍යන්තර බලයට අවශ්‍ය බලශක්ති සම්පත් අඛණ්ඩව ලබාගැනීමයි.

කෙසේ වෙතත්, වර්තමාන යුදමය හා භූදේශපාලනික තත්ත්වයන් හමුවේ මෙම පදනම් දෙකම දැඩි අභියෝගයකට ලක්ව ඇති බව ඔහුගේ විග්‍රහයයි.

නෙතන්යාහු ට්‍රම්ප් යුද්ධයකට ඇද දැමුවාද?

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඉක්මන් ජයග්‍රහණයක් ලබාගැනීමට ඇති ට්‍රම්ප්ගේ කැමැත්ත සහ ඔහුගේ පෞරුෂ ලක්ෂණ ප්‍රයෝජනයට ගනිමින් ඉරානයට එරෙහි යුදමය ක්‍රියාමාර්ගයකට ඇමරිකාව යොමු කළ බව ඛන්ෆර්ගේ අදහසයි.

ඉතා කෙටි කාලයක් තුළ ඉරාන පාලනය බිඳවැටෙනු ඇතැයි යන අපේක්ෂාව මත යුද්ධයට අවතීර්ණ වූ නමුත්, එය අවසානයේ ඇමරිකාවට විශාල වියදමක් සහ දිගුකාලීන පීඩනයක් ඇති කරන ගැටුමක් බවට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඇමරිකාව තුළ ඊශ්‍රායලයට ඇති සහයෝගය අඩුවෙමින්ද?

ඉරානය සමඟ යුද්ධයට ඇමරිකාව අවතීර්ණ වූයේ ඇමරිකානු ජාතික අවශ්‍යතාවලට වඩා ඊශ්‍රායලයේ අවශ්‍යතා වෙනුවෙන් බව ඇමරිකානු ඡන්දදායකයන් අතර අදහසක් වර්ධනය වෙමින් පවතින බව ද ඔහු සඳහන් කරයි.

එම තත්ත්වය ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයට ද බලපෑම් ඇති කළ හැකි බව ඔහුගේ විග්‍රහයයි.

ඉදිරි වසර දෙක තුළ ඉරානය ඇමරිකාවේ අභ්‍යන්තර ආරක්ෂාවට සෘජු තර්ජනයක් බව පෙන්වීමට ඊශ්‍රායලය උත්සාහ කළ හැකි බවට ද ඔහු අනාවැකි පළ කරයි.

1956 සූවස් අර්බුදය සමඟ සැසඳීම

වර්තමාන තත්ත්වය 1956 සූවස් අර්බුදයට සමාන කිරීම පිළිබඳව ද ඛන්ෆර් විශේෂ අවධානයක් යොමු කරයි.

සූවස් අර්බුදයේදී බටහිර කඳවුර තුළම බල නායකත්වය බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය වෙතින් ඇමරිකාව වෙත මාරු විය.

නමුත් වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ බටහිර කඳවුර තුළ බලය හුවමාරු වීමක් පමණක් නොව, බටහිර ආධිපත්‍යයෙන් පිටත පවතින නව බල කේන්ද්‍ර සහ ශිෂ්ටාචාරමය පද්ධති ඉදිරියට පැමිණීමක් බව ඔහු පෙන්වා දෙයි.

Will Pakistan-Saudi-Turkiye alliance actually create a new regional order?

3. මැදපෙරදිග නව සන්ධාන සහ ඊශ්‍රායලයේ අනාගතය

කලාපීය බල තුලනය තුළ නව සන්ධාන සහ බල කණ්ඩායම් කිහිපයක් මතුවෙමින් පවතින බව ඛන්ෆර්ගේ විග්‍රහයයි.

එහිදී සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර දේශපාලන හා ආරක්ෂක සහයෝගීතාව වර්ධනය වීම විශේෂයෙන් කැපී පෙනෙන බව ඔහු සඳහන් කරයි.

ඒ සමඟම ඉරානය සහ එහි මිත්‍ර පාර්ශ්වයන් ද යුද්ධයෙන් පසු කලාපීය බලපෑම තවදුරටත් වර්ධනය කරගැනීමට උත්සාහ කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.

අනෙක් පසින් ඊශ්‍රායලය ද කලාපීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දී සිටින බව ඔහුගේ අදහසයි.

මැදපෙරදිගටත් ‘යාල්ටා සමුළුවක්’ අවශ්‍යයි

ඇමරිකාව සහ ඉරානය අතර ගැටුම අවසන් වූ පසු එය ඉරානය සහ ගල්ෆ් රටවල් අතර හෝ ඉරානය සහ තුර්කිය අතර නව කලාපීය ගැටුමකට පරිවර්තනය වීමේ අවදානමක් පවතින බව ඛන්ෆර් අනතුරු අඟවයි.

එබැවින් අරාබි රටවල්, ඉරානය, තුර්කිය සහ පාකිස්තානය ඇතුළත් පුළුල් කලාපීය සාකච්ඡා වේදිකාවක් ගොඩනැගිය යුතු බව ඔහු යෝජනා කරයි.

එමඟින් කලාපයේ බල තුලනය, ආරක්ෂාව සහ අනාගත සබඳතා සම්බන්ධයෙන් පොදු එකඟතා ඇතිකරගත හැකි බව ඔහුගේ අදහසයි.

තුර්කියේ බලය වර්ධනය වීම පිළිබඳ ඊශ්‍රායලයේ අවධානය

තුර්කියේ කලාපීය බලපෑම, විශේෂයෙන් සිරියාව සහ නැගෙනහිර මධ්‍යධරණී කලාපය තුළ වර්ධනය වීම ඊශ්‍රායලයේ අවධානයට ලක්ව ඇති බව ඛන්ෆර් පෙන්වා දෙයි.

ඊශ්‍රායලය සිය පැරණි ‘පරිධි උපායමාර්ගය’ (Periphery Strategy) යළි ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව ඔහුගේ විග්‍රහයයි.

ඒ අනුව රතු මුහුද, සෝමාලිලන්තය සහ සුඩානය, ලිබියාව හා යේමනය වැනි රටවල පවතින ගැටුම්කාරී තත්ත්වයන් කලාපීය බල අරගලයට සම්බන්ධ වන බව ඔහු පෙන්වා දෙයි.

The Challenges of Democracy in Europe: Between Integration, Nationalism and New Geopolitical Tensions

4. යුරෝපයේ ආර්ථික හා ආරක්ෂක පදනම් බිඳවැටීම

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ආර්ථික සමෘද්ධිය සහ දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගීමට බලපෑ ප්‍රධාන පදනම් හතරක් මේ වන විට අර්බුදයට ලක්ව ඇති බව ඛන්ෆර් පවසයි.

1. ඇමරිකානු ආරක්ෂක සහතිකය

නේටෝ සංවිධානය සහ ඇමරිකානු ආරක්ෂක සහතිකය පිළිබඳ යුරෝපා රටවල විශ්වාසය අඩුවෙමින් පවතින බව ඔහු පෙන්වා දෙයි.

එම තත්ත්වය හමුවේ ජර්මනිය වැනි රටවල් තමන්ගේම ආරක්ෂක හා හමුදා ශක්තිය වර්ධනය කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබේ.

2. රුසියානු බලශක්ති සම්පත්

රුසියාවෙන් ලැබුණු සාපේක්ෂව අඩු මිලැති ගෑස් සහ තෙල් යුරෝපීය කර්මාන්ත පද්ධතියේ වැදගත් පදනමක් විය.

නමුත් යුක්රේන යුද්ධයත් සමඟ එම බලශක්ති සබඳතා බිඳවැටීම යුරෝපයේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කර තිබේ.

3. චීන වෙළෙඳපොළ

අතීතයේ චීනය යුරෝපීය සුඛෝපභෝගී භාණ්ඩ සඳහා විශාල වෙළෙඳපොළක් විය.

නමුත් අද චීනය යුරෝපීය නිෂ්පාදන මිලදී ගන්නා රටක් පමණක් නොව, තාක්ෂණයෙන් දියුණු හා අඩු මිලැති භාණ්ඩ නිෂ්පාදනය කරන ප්‍රබල තරගකරුවකු බවට පත්ව තිබේ.

4. ජනගහන අර්බුදය සහ සංක්‍රමණය

යුරෝපීය සමාජවල වයස්ගත ජනගහනය ඉහළ යාමත්, ශ්‍රමික අවශ්‍යතා සපුරාලීම සඳහා සංක්‍රමණිකයන්ගේ දායකත්වය අවශ්‍ය වීමත් සමඟ නව අභියෝග මතුව තිබේ.

එහෙත් දක්ෂිණාංශික දේශපාලන බලවේගවල වර්ධනයත් සමඟ සංක්‍රමණය සීමා කිරීමේ ප්‍රවණතාවක් ද දැකිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

 

US-China summit could reshape global power

5. ඇමරිකානු-චීන බල අරගලය සහ ලෝක මූල්‍ය පද්ධතියේ අනාගතය

ලෝක පර්යායේ වඩාත්ම අවදානම් සහගත වෙනස්කම් ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවෙමින් පවතින බව ඛන්ෆර් පවසයි.

ඇමරිකාවේ ඉහළ රාජ්‍ය ණය ප්‍රමාණය, විකල්ප ජාත්‍යන්තර ගෙවීම් පද්ධතිවල වර්ධනය සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ වේගවත් දියුණුව ඩොලරයේ ලෝක සංචිත මුදල් තත්ත්වයට අභියෝගයක් විය හැකි බව ඔහුගේ අදහසයි.

මෙම තත්ත්වය බ්‍රෙටන් වුඩ්ස් (Bretton Woods) පද්ධතියේ අනාගතය පිළිබඳව ද ප්‍රශ්න මතු කරයි.

ඇමරිකාවේ ශක්තීන් සහ දුර්වලතා

ඇමරිකාවට විශාල භූගෝලීය ආරක්ෂාවක්, සාපේක්ෂව වාසිදායක ජනගහන ව්‍යුහයක් සහ මැතිවරණ හරහා දේශපාලන වෙනස්කම් සිදුකිරීමේ හැකියාවක් පවතින බව ඛන්ෆර් පෙන්වා දෙයි.

නමුත් අභ්‍යන්තර දේශපාලන බෙදීම්, සමාජීය අර්බුද සහ පොදු වටිනාකම් පද්ධතියේ දුර්වලවීම් එරටට බලපාන ප්‍රධාන ගැටලු බව ඔහු සඳහන් කරයි.

චීනයේ ශක්තීන් සහ දුර්වලතා

චීනය ජනගහන අර්බුද, භූගෝලීය හා දේශසීමා අභියෝග සහ වෙරළබඩ ප්‍රදේශ හා අභ්‍යන්තර ප්‍රදේශ අතර සංවර්ධන පරතරය වැනි ගැටලුවලට මුහුණ දෙයි.

කෙසේ වෙතත්, දිගුකාලීන උපායමාර්ගික ඉවසීම, තාක්ෂණික බලය සහ ආසියානු කලාපයේ නායකත්වය වර්ධනය කිරීම කෙරෙහි චීනය අවධානය යොමු කර ඇති බව ඛන්ෆර් පවසයි.

එමෙන්ම ලෝකයේ සෑම රටකම දේශපාලන ක්‍රමය පාලනය කිරීමට හෝ ලෝක පොලිස්කාරයාගේ භූමිකාව භාරගැනීමට චීනය උත්සාහ නොකරන බවට ද ඔහු අදහස් පළ කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව

අනාගත ලෝක පර්යාය තනි බලවතුන්ගේ ආධිපත්‍යය වෙනුවට කලාපීය සහ මහාද්වීපික බල කණ්ඩායම් අතර සමතුලිතතාවයක් මත ගොඩනැගිය යුතු බව ඛන්ෆර් යෝජනා කරයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ තනි රටවල් සතු නිෂේධ බලය මත පදනම් වූ ව්‍යුහය වෙනුවට කලාපීය නියෝජනයට වැඩි ඉඩක් ලබාදෙන ක්‍රමයක් පිළිබඳව ද ඔහු අවධානය යොමු කරයි.

Arab and Muslim leaders put limited influence and differences on display - Modern Diplomacy

6. අරාබි ලෝකයේ නායකයන්ට වඩාක් ඛන්ෆර්ගේ අවසන් පණිවුඩය

සාකච්ඡාවේ අවසාන කොටසේදී අරාබි ලෝකයේ දේශපාලන නායකයන්ට වැදගත් පණිවුඩයක් ලබාදීමට ද ඛන්ෆර් කටයුතු කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ ලෝකය මේ වන විට උපායමාර්ගික අවිනිශ්චිතතාවයේ යුගයකට මෙන්ම ජනතා කෝපය වර්ධනය වන යුගයකට ද පිවිසෙමින් සිටින බවයි.

එවැනි පසුබිමක ආරක්ෂක අංශ සහ බලහත්කාරී පාලනය මත පමණක් රටක ස්ථාවරත්වය ආරක්ෂා කරගත නොහැකි බව ඔහු අවධාරණය කරයි.

ඒ වෙනුවට ජනතාව සමඟ විශ්වාසය ගොඩනැගීම, දූෂණය මර්දනය කිරීම සහ ආර්ථික හා සමාජීය බලාපොරොත්තු ඉටු කිරීම රටක සැබෑ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.

සාකච්ඡාවේදී නිර්දේශ කළ පොත් තුනක්

මෙම දීර්ඝ සාකච්ඡාවේ අවසාන කොටසේදී කියවීම සඳහා පොත් තුනක් ද ඛන්ෆර් නිර්දේශ කර තිබේ.

  1. ‘ටෙහෙරානයේ වහලවල්’ (The Rooftops of Tehran): ඉරාන සමාජයේ ස්වභාවය සහ එරට ජනතාවගේ මානසික හා සමාජීය පසුබිම අවබෝධ කරගැනීම සඳහා.
  2. ‘මගේ සිතේ අමුත්තෙක්’ (A Strangeness in My Mind): තුර්කි ලේඛක ඔර්හාන් පමුක්ගේ මෙම නවකතාව තුළින් තුර්කියේ සමාජීය හා චින්තනමය පරිවර්තනයන් අවබෝධ කරගැනීමට.
  3. ‘ඉබ්නු ෆතුමාගේ ගමන’ (The Journey of Ibn Fattouma): නජීබ් මහෆූස්ගේ මෙම කෘතිය තුළින් සමාජයන්ගේ අනාගතය, මානව ජීවිතයේ අර්ථය සහ දාර්ශනික ගැටලු පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට.

ලෝක බල තුලනයේ තීරණාත්මක සංක්‍රාන්තික යුගයක්

වඩාක් ඛන්ෆර්ගේ සමස්ත විග්‍රහයෙන් මතු වන ප්‍රධාන අදහස වන්නේ ලෝකය පැරණි බල පර්යායෙන් ඉවත්වෙමින් සිටියද, නව ලෝක පර්යායක් තවමත් නිශ්චිතව හැඩගැසී නොමැති බවයි.

ඇමරිකාවේ බලපෑම, චීනයේ නැගී ඒම, රුසියාවේ අර්බුද, මැදපෙරදිග නව සන්ධාන සහ යුරෝපයේ ආර්ථික අභියෝග යන සියල්ල එකිනෙකට සම්බන්ධ වී ඇති අතර, ඉදිරි වසර කිහිපය තුළ ලෝක දේශපාලනයේ දිශානතිය තීරණය කිරීමට ඒවා බලපානු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here