රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

0
2

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් අද (22) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජැස්මින් ශාලාවේදී පැවැත්විණි.

1926 වසරේදී එක් දන්ත ශල්‍ය වෛද්‍යවරයකුගෙන් ආරම්භ වූ මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවය, වර්තමානය වන විට දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 1,600කට ආසන්න සංඛ්‍යාවකින් සහ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 120කින් පමණ සමන්විත සේවාවක් දක්වා වර්ධනය වී තිබේ.

උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රජයේ දන්ත සේවාවේ දෙවැනි සියවස වඩාත් ශක්තිමත්, නව්‍යකරණයෙන් යුත් සහ ජනතා කේන්ද්‍රීය සේවාවක් බවට පත් කිරීම රජයේ අරමුණ බවයි.

දන්ත සේවාවේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) කාර්යාලය සඳහා 2024 වසරේදී රුපියල් මිලියන 160ක්, 2025 වසරේදී රුපියල් මිලියන 148ක් සහ 2026 වසරේදී රුපියල් මිලියන 160ක් වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව පෙන්වා දුන්නේය.

එමෙන්ම, 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ශ්‍රී ලංකාවේ පස්වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පැවැත්වීම සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කර තිබේ. 2026 වසරේදී සීමාවාසික දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 85 දෙනෙකු සේවයට එක් කර ඇති අතර, පුහුණුව අවසන් කළ තවත් දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 69 දෙනෙකුට 2026 දෙසැම්බර් මාසයේදී පත්වීම් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම සියවස් සැමරුමට සමගාමීව විශේෂ සැමරුම් මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කෙරුණු අතර, මහාචාර්ය දිලීප් ද සිල්වා මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අංශය එක්ව සම්පාදනය කළ විශේෂ ග්‍රන්ථයක් ද එළිදැක්විණි.

තවද, මෙරට දන්ත වෛද්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් (දන්ත සේවා) වන වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සහ වෛද්‍ය රෙජී ගුණතිලක යන මහත්වරුන් වෙත මෙහිදී විශේෂ ඇගයීම් පිරිනමන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ජනක කිත්සිරි ගුණවර්ධන, හර්ෂණී සිරිනාම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක (දන්ත සේවා), විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, වසන්ත කුමාරසිංහ, දිනිප්‍රිය හේරත්, හිටපු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්බාජිරාඕ පාණ්ඩව්, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය නිලන්ත රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු දන්ත වෛද්‍ය වෘත්තිකයන් රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here