යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් විමර්ශනවලට අමතරව මෙම අභ්‍යන්තර පරීක්ෂණය ආරම්භ කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිරුනාවුක්කරසු වේල්නම්පි මහතා ප්‍රකාශ කළේය.
පසුගිය 19 වැනිදා රාත්‍රියේ කළමනාකරණ පීඨයේ දෙවැනි සහ තෙවැනි වසරේ සිසුන් පිරිසක් නවාතැන් ගෙන සිටි පෞද්ගලික නේවාසිකාගාරයක් තුළ මෙම ගැටුම හටගෙන ඇති අතර, ඉන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කෝපායි පොලිසිය විසින් ගැටුමට සම්බන්ධ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් පිරිසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.
මෙම ගැටුම විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත සිදුවූවක් වුවද, පොලිසිය සිදුකරන සියලු විමර්ශන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයේ පූර්ණ සහය ලබාදෙන බව උපකුලපතිවරයා සඳහන් කළේය. ගැටුමට හේතු වූ කරුණු සොයා බලා, ඉදිරියේදී මෙවැනි සිදුවීම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

