බෙංගාල බොක්කේ ‘ARNAB’ සුළි කුණාටුව හේතුවෙන් මුහුදු ප්‍රදේශ සඳහා රතු නිවේදනයක්. ධීවර හා නාවික ප්‍රජාවට දැඩි අවවාද

0
23

බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුව දක්වා වර්ධනය වීම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු ප්‍රදේශ සඳහා රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද (26) පෙරවරු 9.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 12 සඳහා වලංගු වේ.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර, අද රාත්‍රී 11.30 පමණ වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්කේදී එය තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තත්ත්වය නිසා අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 100ත් අතර අගයකට ඉහළ යා හැකි අතර, මුහුදු රළ මීටර් 3ත් 4ත් අතර උසකට ඉහළ යාමත් සමඟ ගිගුරුම් සහිත වැසි සහ ඉතා රළු මුහුදු ස්වභාවයක් අපේක්ෂා කළ හැක.

ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස දන්වා ඇත. එමෙන්ම, දැනටමත් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත ප්‍රදේශ වෙත හෝ ගොඩබිම වෙත ළඟා වන ලෙසත්, ඉදිරියේදී නිකුත් වන කාලගුණ නිවේදන හා අවවාදාත්මක පණිවිඩ පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here