බාබුසර්මා කුරුක්කල්තුමාගේ මෑණියන්ගේ අභාවය වෙනුවෙන් සර්ව ආගමික නායකයෝ නිවසට ගොස් ශෝකය පළ කරති.

0
1

ශ්‍රී ලංකා ජාතික අන්තර් ආගමික පූජක එකමුතුවේ හින්දු ආගමික කටයුතු පිළිබඳ සම සභාපති ශිව ශ්‍රී ආචාර්ය බාබුසර්මා කුරුක්කල්තුමාගේ ආදරණීය මෑණියන් වන මහේෂ්වරි අම්මාල් මහත්මිය පසුගිය නොවැම්බර් මස 10 වන දින ජර්මනියේදී අභාවප්‍රාප්ත වූවාය.

අභාවප්‍රාප්ත මහේෂ්වරි අම්මාල් මහත්මියගේ අවසන් කටයුතු නොවැම්බර් මස 20 වන දින ජර්මනියේදී සිදුකෙරුණු අතර, එහිදී දේහය ආදාහනය කරන ලදී.

මෙම ශෝකජනක අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සර්ව ආගමික නායකයින් නියෝජනය කරමින් ගෞරවනීය ශාස්ත්‍රපති ගලගම ධම්මරන්සි නාහිමිපාණන් වහන්සේ සහ අල්-හාජ් අශ්-සෙය්යිද් ආචාර්ය හසන් මවුලානා අල්-කාදිරි පූජකතුමා ඊයේ දින (25) කොළඹ වැල්ලවත්තේ පිහිටි බාබුශර්මා කුරුක්කල්තුමාගේ නිවසට ගොස් සිය ශෝකය පළ කළහ.

එහිදී අභාවප්‍රාප්ත මහේෂ්වරි අම්මාල් මහත්මියගේ වියෝවෙන් ශෝකයට පත්ව සිටින බාබුශර්මා කුරුක්කල්තුමා ඇතුළු පවුලේ සාමාජිකයන් වෙත ශ්‍රී ලංකාවේ සර්ව ආගමික නායකයින් වෙනුවෙන් සිය බලවත් ශෝකය හා සංවේගය පළ කරමින් ඔවුන්ට ධෛර්යය හා සැනසීම ප්‍රාර්ථනා කළහ.

ආගම් භේදයෙන් තොරව මානව දයාවෙන් හා සහෝදරත්වයෙන් යුතුව ශෝකයට පත් පවුල සමඟ දුක බෙදාගත් මෙම අවස්ථාව, සර්ව ආගමික සහජීවනයේ සහ මානවීය සබඳතාවල වැදගත්කම යළිත් විදහා දැක්වූ අවස්ථාවක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here