දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැක.
එමෙන්ම ඌව පළාතේත්, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පැවතිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ, උතුරු-මැද හා වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ යන දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30-40 දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
මේ අතර, සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පිහිටයි. ඒ අනුව අද (01) දහවල් 12:10 ට කල්පිටිය, තලාව, සිංහාරගම, ගල්කඩවල, නාච්චදූව, පඩිකාරමඩුව, ගෝමරන්කල්ල සහ වෙරුගල් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

