දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පිරිහීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ උපදේශනයක්

0
5

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් විශේෂ උපදේශනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල මෙන්ම අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, කොළඹ, මහනුවර සහ හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ පාවෙන අංශු ද්‍රව්‍ය (Particulate Matter) මට්ටම ඉහළ ගොස් ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.

විදේශයන්ගෙන් හමන වායු ධාරා මීට හේතු වී ඇති අතර, මෙරට වායු ගුණාත්මක දර්ශකයට අනුව එය සෞඛ්‍යයට තරමක් අහිතකර තත්ත්වයක් බව පෙන්වා දී ඇත. මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් අපේක්ෂා කළ හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ශ්වසන ආබාධ ඇති අය ඇතුළු සංවේදී පුද්ගලයින්ට මෙමඟින් සෞඛ්‍ය බලපෑම් ඇති විය හැකි බැවින්, N95 වැනි මුහුණු ආවරණ පැළඳීමට සහ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබේ.

මෙවැනි අවස්ථාවලදී අනුගමනය කළ යුතු, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද සෞඛ්‍ය උපදේශන aq.cea.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

වායුගෝලීය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් මහජනතාව වෙත කඩිනමින් දැනුවත් කිරීම් සිදු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here