අද (17) උදෑසන දිවයින පුරා ඇති වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් විදුලි සැපයුමට බාධා මතු වී ඇති අතර, එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ක්රියාත්මක කර ඇති බව බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා පවසයි.
මෙම විදුලි බිඳවැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත්, ඊයේ (16) දිනයේ කොත්මලේ විදුලි උත්පාදනාගාරයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් පද්ධතියේ අසමතුලිතතාවයක් හටගත්තේද යන්න පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව අමාත්යවරයා සඳහන් කළේය. දැනටමත් විදුලි සැපයුම එක් කොටසකට යථා තත්ත්වයට පත් කර ඇති අතර, ඉදිරියේදී කොටස් වශයෙන් මුළු රටටම විදුලිය ලබා දීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර, පද්ධතිය ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ගැනීමට සහයෝගයක් ලෙස, වහල මත සූර්ය පැනල පද්ධති භාවිත කරන සියලුම පාරිභෝගිකයන්ගෙන් ඒවා තාවකාලිකව විසන්ධි කරන (Switch Off) මෙන් අමාත්යවරයා විශේෂ ඉල්ලීමක් කර සිටී.

