දකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට.

0
6

දකුණු කොරියාවේ ග්යොංජි පළාතේ හ්වාසොං හිදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. පසුගිය නොවැම්බර් 26 වැනිදා රාත්‍රී 9.10ට පමණ හ්වාසොං හි ජංගන්-මියොන් ප්‍රදේශයේදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබේ.

සේවා මුරය අවසන් කර තම නේවාසිකාගාරය වෙත පාගමනින් යමින් සිටි අවුරුදු 30ක පමණ වයසැති ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇත. මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි ඔවුන් දෙදෙනා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටොන් 7.5ක බරැති ට්‍රක් රථයක පිටුපස භාණ්ඩ ප්‍රවාහන කොටසින් පිටතට නෙරා තිබූ කොටසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. එම කොටස ඔවුන්ගේ හිස සහ උදර ප්‍රදේශයේ වැදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හ්වාසොං සියෝබු පොලිස් ස්ථානය සඳහන් කළේ, වෘත්තීය නොසැලකිල්ල හේතුවෙන් මරණ සිදුකිරීමේ චෝදනාව යටතේ 50 හැවිරිදි ට්‍රක් රථ රියදුරාට එරෙහිව දකුණු කොරියාවේ රථවාහන අනතුරු පිළිබඳ විශේෂ නඩු පනත යටතේ නීතිමය පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත්, අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර නොසිටි බවට පොලිසිය තහවුරු කරගෙන ඇත.

මියගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ අනන්‍යතාව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති අතර, අදාළ රථයේ ඩෑෂ්කැම් (Dashcam) දර්ශන ඇතුළු සාක්ෂි උපයෝගී කරගනිමින් කොරියානු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here