ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ 13 හැවිරිදි බස්සම් මුර්තසා

0
2

ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර යොවුන් නායකත්වය සහ ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා දැක්වූ දායකත්වය අගයමින් United Through Sports (UTS) සංවිධානය විසින් පිරිනමන ලද Future Leader Award සම්මානය සහ Medal of Recognition ඇගයීම් පදක්කම හිමිකරගත් ශ්‍රී ලංකාවේ 13 හැවිරිදි මුවායි තායි ශූර බස්සම් මුර්තසා යළි මව්බිමට පැමිණ තිබේ.

බස්සම්, United Through Sports සංවිධානයේ යොවුන් තානාපතිවරයකු සහ තරුණ නායකයකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩකාර් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැති ජාත්‍යන්තර යොවුන් නායකත්ව වැඩසටහනකට සහභාගී විය.

එමෙන්ම, සෙනගාල ජනාධිපති බස්සිරූ ඩියෝමායේ ෆායේ මහතා විසින් ක්‍රීඩා උළෙලට සමගාමීව ආරම්භ කරන ලද ජාතික යොවුන් බලමුළුගැන්වීමේ වැඩසටහනක් වන DUndal JOJ සඳහා ද මෙම තරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා දායක විය.

සිය සංචාරය අතරතුර බස්සම්, ක්‍රීඩා සමුළුව, යොවුන් සම්මන්ත්‍රණ සහ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිළිගැනීමේ උත්සවය ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර උත්සව රැසකට සහභාගී විය.

මෙම අවස්ථාවන් ඔස්සේ විවිධ රටවල ජාත්‍යන්තර ක්‍රීඩා නිලධාරීන්, යොවුන් නායකයන් සහ නියෝජිතයන් හමුවීමටත්, තරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ලෙස තම අත්දැකීම් බෙදාහදා ගැනීමටත් ඔහුට අවස්ථාව ලැබිණි.

ඔහුගේ මෙම සංචාරයේ වඩාත් වැදගත් අංගයක් වූයේ ක්‍රීඩාංගණවලින් ඔබ්බට ගොස් සිදුකළ ප්‍රජා සේවා සහ සමාජ ක්‍රියාකාරකම්වලට සහභාගී වීමයි.

බස්සම්, ඩකාර් නගරයේ සහ ඒ අවට පිහිටි පාසල්, රෝහල් සහ ළමා නිවාස වෙත ගොස් දහස් සංඛ්‍යාත දරුවන් හා තරුණ තරුණියන් හමුවී ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත්තේය.

එම සංචාරයන්හිදී මිත්‍රත්වය, අධ්‍යාපනය, සියලු දෙනා ඇතුළත් කරගැනීම සහ තරුණ පරපුරට වඩාත් යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා ක්‍රීඩාවේ ඇති වැදගත්කම පිළිබඳ පණිවිඩ ඔහු විසින් බෙදාහදා ගන්නා ලදී.

මෙම ක්‍රියාකාරකම් සඳහා දැක්වූ දායකත්වය සහ යොවුන් නායකත්වය වෙනුවෙන් දැක්වූ කැපවීම අගයමින් United Through Sports සංවිධානය විසින් ඔහුට Future Leader Award සම්මානය සහ Medal of Recognition ඇගයීම් පදක්කම යන විශේෂ ගෞරව සම්මාන දෙක පිරිනමන ලදී.

මෙම සම්මාන, ජාත්‍යන්තර මුවායි තායි තරගාවලි තුළ දැනටමත් සිය දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති මෙම යොවුන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවියේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරයි.

බස්සම් යනු ජාත්‍යන්තර මුවායි තායි පදක්කම්ලාභියකු වන අතර, ජාත්‍යන්තර මුවායි තායි සංගම් සම්මේලනය (IFMA) විසින් සංවිධානය කරන ලද යොවුන් ලෝක ශූරතා තරගාවලි කිහිපයකදීම ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

ඔහු සිය ක්‍රීඩා දිවිය ආරම්භ කළේ ඉතා කුඩා වයසේදීය. ඒ සඳහා ශ්‍රී ලංකා මුවායි තායි සම්මේලනය යටතේ ක්‍රියාත්මක වන IMA-Sri Lanka හි සභාපති, මාස්ටර් එම්. එච්. එම්. ෆාහිඩ් මහතාගේ මඟපෙන්වීම ඔහුට ලැබුණි.

බස්සම්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමටත්, ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා ගමනට මඟපෙන්වීමටත් ෆාහිඩ් මහතා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

මුවායි තායි ක්‍රීඩාවේ ජයග්‍රහණවලට අමතරව, බස්සම් Youth Ambassador (තරුණ තානාපතිවරයෙකු) ලෙස United Through Sports, IFMA සහ Mission89 යන සංවිධාන සමඟ කටයුතු කරමින්, තම ක්‍රීඩා අත්දැකීම් යොදාගෙන තරුණ පරපුර දිරිමත් කරයි.

ඩකාර්හි පැවති වැඩසටහනට ඔහුගේ සහභාගීත්වය විශේෂ වැදගත්කමක් ගත්තේය. එයට හේතුව ඔහු ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු ලෙස පමණක් නොව, ප්‍රජා සංවර්ධන කටයුතුවල නිරත වන තරුණ නායකයෙකු ලෙසද ශ්‍රී ලංකාව නියෝජනය කිරීමයි.

වයස අවුරුදු 13ක් වැනි කුඩා වයසකදී බස්සම් පෙන්වා දී ඇත්තේ, පදක්කම් දිනා ගැනීමෙන් ඔබ්බට ගොස් අන් අයට උපකාර කිරීමෙන් සහ ක්‍රීඩාවේ යහපත් වටිනාකම් ප්‍රවර්ධනය කිරීමෙන්ද තරුණ ක්‍රීඩකයන්ට සමාජයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවයි.

සෙනගාලයේ ලැබූ අත්දැකීම් ඔහුට වටිනා ජාත්‍යන්තර අත්දැකීම් ලබා දුන් අතර, විවිධ රටවල තරුණ නායකයන් සමඟ මිත්‍රත්වයන් ගොඩනඟා ගැනීමටද අවස්ථාව උදා කළේය.

විශේෂ සම්මාන දෙකක් සහ නව ජාත්‍යන්තර අත්දැකීම් රැසක් සමඟ බස්සම් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. ඉදිරියේදී මුවායි තායි ක්‍රීඩාවෙන් තවදුරටත් ඉදිරියට යාමටත්, ක්‍රීඩාව හා අධ්‍යාපනය සඳහා වැඩි වැඩියෙන් දරුවන් යොමු කිරීමටත් ඔහු බලාපොරොත්තු වේ.

ඔහුගේ මෙම නවතම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩා ක්ෂේත්‍රයට තවත් අභිමානවත් අවස්ථාවක් වන අතර, ජාත්‍යන්තර නායකත්ව වැඩසටහන් තුළ තරුණ ක්‍රීඩකයන්ගේ භූමිකාව දිනෙන් දින වර්ධනය වන බවද මනාව පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here