අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඕමානය වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට කරන ලද තර්ජනයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) නැවතත් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 සීමාව ඉක්මවා යමින් ඩොලර් 91.24ක් දක්වා ඉහළ ගිය අතර, මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.70ක් සහ WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85ක් ලෙස සටහන් විය.
ඉරානය සමඟ පැවැත්වෙන හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමන පාලන සාකච්ඡාවලට ඕමානය බාධා කළහොත් එරටට බෝම්බ හෙළන බවට ජනාධිපති ට්‍රම්ප් ඊයේ (17) ෆොක්ස් නිව්ස් (Fox News) නාළිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණි.
මේ වන විට හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර මෙන්ම අමෙරිකාව ද වෙන වෙනම රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල නිරත වෙමින් සිටී.

