42 වැනි ජාතික මීලාදුන් නබි සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 26 වන දින පස්වරු 3.00 ට මීගමුව පෙරියමුල්ල අල්-හිලාල් විද්‍යාලයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ. අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ ආගමික වටිනාකම් සුරකිමින් “සහජීවනය, සහෝදරත්වය, එකමුතුකම” යන තේමාව පෙරදැරි කරගෙන මෙවර උත්සවය සංවිධානය කර ඇති බවයි.
මෙම ජාතික උත්සවයට සමගාමීව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වන අතර, අගෝස්තු 22 වන දින මීගමුව අල් ෆලා විද්‍යාලයේදී ලේ දන්දීමේ කඳවුරක් සහ 23 වන දින පැළ සිටුවීමේ වැඩසටහනක් පැවැත්වේ. එමෙන්ම 24 වන දින “Visit My Mosque” තේමාවෙන් මුස්ලිම් පල්ලිය ආශ්‍රිත සංස්කෘතික පරිසරය හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක්ද, අගෝස්තු 24 සහ 25 දෙදින පුරා අල් හිලාල් විද්‍යාලයේදී නබිතුමාගේ ජීවන දර්ශනය අස්පර්ශ වන විශේෂ ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට නියමිතය.
මීට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි මුස්ලිම් පල්ලි 12ක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ප්‍රධාන පල්ලි 8කට රුපියල් මිලියනය බැගින් සහ පල්ලි 4කට රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දීමට පියවර ගෙන ඇත. තවද, ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කම රැගත් විශේෂ ග්‍රන්ථයක් එළිදැක්වීමට මෙන්ම, එරට ඓතිහාසික මුස්ලිම් පල්ලියක් සංකේතවත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීමටද කටයුතු යොදා තිබේ.

