ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා නව තීරුබදු මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ.
මීට පෙර ට්‍රම්ප් පරිපාලනය පැනවූ ‘ලිබරේෂන් ඩේ’ (Liberation Day) තීරුබදු නීති විරෝධී බවට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව, විදේශීය වෙළෙඳ පිළිවෙත් පිළිබඳව ධවල මන්දිරය පසුගිය මාර්තු මාසයේදී සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම නව බදු හඳුන්වා දී ඇත. ‘301 වගන්තිය’ යටතේ සිදු කළ මෙම විමර්ශනය මගින් විදේශීය රජයන්ගේ ප්‍රතිපත්ති හරහා අමෙරිකානු ව්‍යාපාර, කම්කරුවන් සහ පාරිභෝගිකයින්ට අසාධාරණ බලපෑම් එල්ල වන්නේද යන්න සොයා බලා තිබේ.
මෙම නව තීරුබදු යටතේ වැඩිම බලපෑමක් එල්ල වන්නේ චීනයට වන අතර, එරට භාණ්ඩ සඳහා 40% දක්වා තීරුබදු පැනවේ. වියට්නාමයට 35% දක්වාත්, යුරෝපා සංගමය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, තායිවානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, කාම්බෝජය සහ තායිලන්තය යන සෙසු ආර්ථිකයන් සඳහා 20% හෝ 25% වශයෙනුත් තීරුබදු පනවා ඇත.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා එකඟ වී ඇති ඇතැම් තීරුබදු සීමාවන් හේතුවෙන් මෙම අනුපාතයන් යම් ප්‍රමාණයකින් අඩු විය හැකි බවද වාර්තා වේ. අමෙරිකානු නිෂ්පාදන ක්ෂේත්රය ශක්තිමත් කිරීම සහ දේශීය රැකියා උත්පාදනය කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපති ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය තුළ දිගින් දිගටම මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් සිටී.

