ගෘහස්ථ ගෑස් මිල වැඩිවීමෙන් පාරිභෝගිකයින්ට අගතියක් නොවන ලෙස කටයුතු කරන්නැයි කාරක සභාවෙන් අවධාරණය

0
7

ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් පාරිභෝගිකයින්ට අහිතකර බලපෑම් ඇති නොවන පරිදි කටයුතු කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අවධාරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ගැනිණි.

මෙරට ගෘහස්ථ ගෑස් බෙදාහරින පෞද්ගලික සමාගමක් ගෑස් සිලින්ඩරයක මිල සැලකිය යුතු ලෙස වැඩි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ මෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ද කාරක සභාවට කැඳවා තිබුණි.

එහිදී අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ ගෘහස්ථ ගෑස් මිල තීරණය කිරීමේ බලය තම අධිකාරිය සතු නොවන බවයි. එසේ වුවද, මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් අදාළ පෞද්ගලික සමාගම සමඟ සාකච්ඡා කොට මිල පහළ දැමීමට පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

තම සමාගමට වෙළෙඳපොළේ ඇත්තේ කුඩා කොටසක් බැවින් වැඩි පිරිවැයකට ගෑස් මිලදී ගැනීමට සිදුවන බවත්, එම මිලදී ගැනීමේ පිරිවැයට සාපේක්ෂව ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සිදු වූ බවත් අදාළ සමාගම පැහැදිලි කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් කීය.

කෙසේ වෙතත්, ඉදිරියේදී ගෘහස්ථ ගෑස් සැපයුමට කිසිදු බාධාවක් ඇති නොවන බවට වග බලා ගන්නා ලෙසත්, මිල වැඩිවීම් මගින් පාරිභෝගිකයින් පීඩාවට පත් නොවන අයුරින් කටයුතු කරන ලෙසත් කාරක සභාව යළිත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here