ගිං සහ නිල්වලා ගංඟා ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි එම ගංඟා නිම්න ආශ්‍රිත පහත්බිම් කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇත.
අද (24) අලුයම 2.30 සිට හෙට (25) අලුයම 2.30 දක්වා වලංගු වන මෙම අනතුරු ඇඟවීම අනුව, ගිං ගඟ පිටාර ගැලීමෙන් තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය-දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම්වලටත්, නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රදේශවල පහත්බිම්වලටත් සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැක.
එම නිසා අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට මෙන්ම මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට ද විමසිලිමත්ව කටයුතු කරන ලෙස බලධාරීන් දැනුම් දෙයි.

