පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු, නිල්වලා, ගිං, වලවේ සහ කුඩා ගඟ යන ගංගාවල මෙන්ම අත්තනගලුඔයේ ද ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා බද්දේගම, තවලම, නාගොඩ සහ වැලිවිටිය – දිවිතුර යන ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, පහත් බිම් යටවීමේ අවදානමක්ද මතුව තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, දෙල්ලව ප්‍රදේශයට මිලිමීටර් 160කට ආසන්න වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි. නිල්වලා ගඟේ අකුරැස්ස ප්‍රදේශය සහ කළුගඟ ආශ්රිත මිල්ලකන්ද ප්‍රදේශ ද සුළු ගංවතුර තත්ත්වයකට ආසන්න වී ඇති අතර, බුලත්සිංහල හා පාලින්දනුවර වැනි ප්‍රදේශවල පහත්බිම් යටවීමේ හැකියාවක් පවතී. අත්තනගලුඔයේ දූනමලේ ජල මට්ටමද සුළු ගංවතුර මට්ටම දක්වා වර්ධනය වී තිබේ.
මේ අතර, අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා නුගේයාය ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ පවුල් 40කට පමණ බලපෑම් එල්ල වී ඇති අතර, එම නිවාසවල ජනතාවට සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත. තවද, ඇල්ල පස්සර මාර්ගයේ මාවුස්සාගොල්ල ප්‍රදේශයට සහ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගවල ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.
පවතින අයහපත් කාලගුණයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 09ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති අතර, ඒ අතරින් දිස්ත්‍රික්ක 06ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා දෙවන අදියරේ (අවධානයෙන් සිටින ලෙසට වූ) අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.

