කොළඹ 07, බාන්ස් (Barnes) ප්‍රදේශයේ දේපළවලට අදාළ ව්‍යාජ ඔප්පු භාවිතයෙන් සිදු කළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දේපළ දෙකකට අදාළ මුදල් අවභාවිත කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් මෙම විමර්ශනය ආරම්භ කරන ලදී.
එම විමර්ශනයට අදාළව ක්‍රියාත්මක වූ නිලධාරීන් ඊයේ කළුතර නගරයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
කළුතර පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු, අධිකරණ කටයුතු සඳහා එම ව්‍යාජ ඔප්පු ඉදිරිපත් කර, අදාළ දේපළ රුපියල් මිලියන 10කට විකුණා එම මුදල අවභාවිත කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
තවදුරටත් විමර්ශන කටයුතු මූල්‍ය විමර්ශන අංශය විසින් සිදු කරනු ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

