කාවන්තිස්ස හස්තිරාජයාගේ වියෝව වෙනුවෙන් මහින්ද රාජපක්ෂගෙන් සංවේදී සටහනක්

0
15

අතිශය ජනාදරයට පත්ව සිටි ‘කාවන්තිස්ස’ හස්තිරාජයාගේ වියෝව වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුම හරහා සංවේදී සටහනක් තබමින් සිය අවසන් ගෞරවාචාරය පුද කර තිබේ.

“ද්විරද ගජ කාවන්තිස්ස, මහා වනාන්තරයේ රජුව අවසන් වරට වනාන්තරය විසින්ම තම හදවතට තුරුළු කර ගත්තා යැයි සිතමි,” යනුවෙන් සටහන අරඹමින් හිටපු ජනාධිපතිවරයා මෙරට ඉතිහාසය, සංස්කෘතිය සහ බුදු දහම තුළ ඇතුන්ට හිමිවන සුවිශේෂී ස්ථානය සිහිපත් කර ඇත.

අප රටේ ඉතිහාසය පුරාවට මහාවංශයේ පිටු අතරත්, සිරි දළදා මහා පෙරහැරේ, රාජාභිෂේකයේ මෙන්ම රණබිමේත් ඇතා නොසිටි තැනක් නොමැති බව පෙන්වා දී ඇති ඒ මහතා, රාජ්‍යත්වය නියෝජනය කළ ‘කඩොල්’ ඇතා ඉතිහාසය තුළ රජෙකුට සම වූ බවද සඳහන් කර තිබේ.

බුදු දහම තුළ ඇතා බෝධිසත්වයෙකු වූ ආකාරයත්, ඇත් පිය සටහන ගජගා වන්නම වූ ආකාරයත් පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ මහතා, අපගේ සංස්කෘතිය තුළ ඇතෙකු යනු ඉතිහාසය, ආගම, කලාව සහ ජනජීවිතය සමඟ මුසු වූ ජීවමාන සංකේතයක් මෙන්ම රැකිය යුතු මඟුල් ලකුණක් බව අවධාරණය කරයි.

“අභිමානය, ශක්තිය, ඉවසීම සහ කරුණාව දරාගත් මිනිස් හදවතක් සහිත, මව්බිම හැඩ කළ අප ඇත් පරපුරෙහි මහ ඇතුට සුබ ගමන්…” යනුවෙන් පවසමින් හිටපු ජනාධිපතිවරයා සිය සටහන අවසන් කර ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here