ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයෙන් සාධනීය විසඳුමක් නොලැබීම හේතුවෙන්, අද (15) දින සිට නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේ බලධාරීන් දක්වන මන්දගාමී ප්‍රතිචාරය හමුවේ මෙම තීරණයට එළඹීමට සිදු වූ බවයි.
ගමන් වියදම් දීමනා ඉහළ නැංවීම, ග්‍රාම නිලධාරී තනතුර සඳහා අවම සුදුසුකම ලෙස උපාධිය නියම කිරීම, ගම්මන්පිල කමිටුව නිර්දේශ කර කැබිනට් අනුමැතිය හිමිවූ දීමනා ලබා දීම සහ සෙනසුරාදා ඇතුළු රජයේ නිවාඩු දිනවල සේවය වෙනුවෙන් දිනක වැටුපක් ලබා ගැනීම මොවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් අතර වේ. මෙම ඉල්ලීම් මුල් කරගනිමින් පසුගිය 10 සහ 11 යන දෙදින තුළ ද ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය.
කෙසේ වෙතත්, අදාළ දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුවද රජය පාර්ශ්වයෙන් කිසිදු සාධනීය පියවරක් නොගැනීම හේතුවෙන් මෙලෙස සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමේ දීර්ඝකාලීන වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට ග්‍රාම නිලධාරීන් පියවර ගෙන ඇත.

