ආචාර්ය නන්දා මාලනීගේ අභාවය හේතුවෙන් තෙදිනක ජාතික ශෝක කාලයක්.

0
11

ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනීගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

එම ජාතික ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

ඒ අනුව අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 04/2026 යටතේ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති අතර ඊට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා අත්සන් කර තිබේ.

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා, විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කරයි.

ඒ අනුව, ඇගේ දේහය හෙට (21) උදෑසන 10.00 සිට නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමටයි සියළු කටයුතු යොදා ඇත.

අනතුරුව සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු දේහය අවසන් කටයුතු සඳහා බොරැල්ල සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතය. ඇගේ අවසන් කැමැත්තට ගරු කරමින්, කිසිදු නිල හෝ විශේෂ අවමංගල්‍ය උත්සවයකින් තොරව සෙනසුරාදා පස්වරු 5.00 ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරීමට පවුලේ ඥාතීන් තීරණය කර ඇති බවයි මහාචාර්ය සුනිල් ආරියරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here