අදත් දිවයිනට තද වැසි

0
8

බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු අක්ෂාංශ 15.3 සහ නැගෙනහිර දේශාංශ 89.7 ආසන්නයේ කේන්ද්‍රගතව ඇති මෙම පද්ධතිය, අද (26) දින තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති අතර, හෙට (27) වන විට එය බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, දිවයින හරහා පවතින සුළං ප්‍රවාහය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ කැපී පෙනෙන වැඩිවීමක් අපේක්ෂා කෙරේ. ඒ අනුව, උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. මීට අමතරව, ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලද පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

කාලගුණ තත්ත්වයත් සමඟම, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇති විය හැකි බවටද අනතුරු අඟවා ඇත. එබැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here