හරින්ට නඩු පිට නඩු

0
356

NEWSNOW | COLOMBO – හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්ව 03ක් නඩු පැවරීමට තීරණය කර තිබේ. ඒ, ඔහු ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය ධුරය දරන කාල සීමාව තුළ ගන්නා ලද තීන්දු තීරණ අභියෝගයට ලක් කරමිනි.

මෙලෙස හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නඩු මගට ගොස් තිබෙනුයේ හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ යෙදී සිටියදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් ලබාදීමේ චෝදනාවට ලක්වූ සනත් ජයසුන්දර යන මහත්වරුන්ය.

මේ සම්බන්ධයෙන් ඊයේ (07දා) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතදී හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, ඔහු පවසා සිටියේ ක්‍රීඩාව තුළ හරි දේ කිරීමට ගොස් ඔහුට මේ වන විට ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්ව නඩු පවරා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා,

“හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ දරන තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරලා තියෙනවා. මම මේ සම්බන්ධයෙන් මෙතෙක් මාධ්‍යයට නොකිව්ව කතාවක් කියන්නම්.

ඒ තමයි මම දැක්කා මේ දවස්වල කතාවක් යනවා චන්දික හතුරුසිංහ මහතාත් මිලියන ගණනක වන්දි ඉල්ලලා නඩු දාලා තියෙනවා කියලා. හැබැයි මම කියන්න කැමැතියි හතුරුසිංහ මහතාට ගෙවපු පඩිය අද මිකී ආතර්, ග්‍රාන්ට් ෆ්ලවර්, මැක්ඩර්මට් ඇතුළු විදෙස් පුහුණුකරුවන් 05 දෙනෙකුට ගෙවනවා. එක මිනිහෙක්ට ගෙව්ව තනි පඩිය අද සුද්දෝ 05 දෙනෙක්ට ගෙවනවා.

චන්දික හතුරුසිංහව අයින් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්න නීතිඥයින්ගෙන් නීති ආධාර අරගෙනයි. මම හිතනවා ඔවුන් නීතිය මොකක්ද කියන එක හොඳින් දන්නවා ඇති කියලා. චන්දික හතුරුසිංහ වන්දි ගන්න හිතුවට ඒක සිහිනයක්ම වේවි.

ලස්සනම කරුණ කියන්නේ තිලංග සුමතිපාල මහතා මට නඩුවක් දානවා, සනත් ජයසුන්දර මට නඩුවක් දානවා, චන්දික හතුරුසිංහ මට නඩු දානවා. මේ සියල්ලම වෙන්නේ නොවැම්බර් මස 16 වැනිදායින් පස්සේ වෙච්ච සිද්ධි කියලා පැහැදිලියි. මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියන එකත් පැහැදිලියි.

තිලංගගේ වුවමනාවට තමයි මම හිතන්නේ සනත් ජයසුන්දර කියන මට රු. ලක්ෂ 10ක අල්ලසක් දෙන්න හදපු මනුස්සයා ස්විස් ෆ්‍රෑන්ක් 22000ක් ගෙවලා බේරුමකාරක අධිකරණයට ගිහින් තියෙන්නේ. අනික රස්සාවක්වත් නැති මනුස්සයෙක් මෙච්චර මුදලක් කොහොම ගෙව්වාද කියන එකත් ප්‍රශ්නයක්. මේ මනුස්සයා මම අමාත්‍යාංශ පුටුවෙන් එළියට එනකන් මට නඩු දැම්මේ නැහැ. දැන් තමයි නඩු දාලා තියෙන්න.

තිලංග සුමතිපාල මහතාව ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කරන්න කිව්වේ මම නෙමෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දීපු වාර්තාවකින්. ඔහු ක්‍රිකට් පරිපාලනයේ හිටපු කාලය තුළ කළ අක්‍රමිකතා, මුදල් ලබාගැනීම් මේ සියල්ලම ඒ වාර්තාවේ තියෙනවා.

ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත අනුව ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරුවලින් තහවුරු වෙනවා ඔහුගේ පවුලේ සාමාජිකයන් බුකී ව්‍යාපාරයේ ඉන්නවා කියලා. අනික ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවකින් පරීක්ෂණයක් කරලා තමයි තිලංගට තනතුර අහිමි වුණේ. ඒ එක පරීක්ෂණයකවත් කමිටු මම පත් කළේ නැහැ. ඒවා කළේ අමාත්‍යංශ ලේකම්වරයායි.

දැන් මට ආරංචියක් ආවා තිලංග සුමතිපාලගේ සහෝදරයාත් බුකී ව්‍යාපාරයෙන් ඉවත් වෙලා කියලා. ඉතින් මම දන්නේ නැහැ තිලංග සුමතිපාල ආයෙත් ක්‍රිකට් පරිපාලනයට ඒවිද කියලා. ලංකාවේ මිනිස්සුන්ට භාරයි මේ සියලුම දේ” යනුවෙන් පවසා සිටියේය.

මේ අතර, මෙම සිද්ධියට පාදක වූ ක්‍රීඩා නීතිය වෙනස් කිරීම සම්බන්ධයෙන්ද හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අදහස් පළ කළේය.

“අපි ලංකාවේ ක්‍රීඩා නීතිය වෙනස් කළා. ඒක වෙනස් කළෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තියෙන ආචාරධර්ම පද්ධතිය අනුවයි. මේ වගේ දූෂණ අක්‍රමිකතා ක්‍රීඩාව තුළ වළක්වන්න අපි පාර්ලිමේන්තුවට අණපනත් පවා ගෙනාවා. ක්‍රීඩාව තුළ තිබුණු ලොකුම පිළිලයක් ඉවත් කර ගන්න අපිට පුළුවන් වුණා.

මට දාලා තියෙන නඩු ඔක්කොම ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ගත් තීන්දු තීරණ නිසා ගොනු කරපුවා. එනිසා මාව ආරක්ෂා කිරීමේ වගකීම නීතිපති දෙපාර්තමේන්තුවටත් තියෙනවා. මම හිතන විදිහට වත්මන් ජනාධිපතිවරයාත් හොරකමට, දූෂණයට, වංචාවට කැමැති නැති මනුස්සයෙක්. ඒත් කවුරුහරි කියනවා නම් සූදු කරන බුකීවල ඉන්න කෙනෙක් ක්‍රීඩාවේ ඉන්න ඕනි කියලා, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව හිතනවා නම් ඒක හරි කියලා එහෙම්ම කරගෙන ගියදෙන්. මට කිසිම අදාළත්වයක් නැහැ”යනුවෙන් පවසා සිටියේය.