හෝමුස් සමුද්‍ර සන්ධි යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. රාජ්‍ය තාන්ත්‍රික මග හැර වෙනත් විසඳුමක් නැතැයි ඉරානය කියයි.

0
16

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමග පවතින ගැටුම් නිරාකරණය කරගැනීමට ඇති එකම මග රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙල පමණක් බව ඉරානය නැවතත් අවධාරණය කර සිටියි. ඒ, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම සහ පවතින සටන් අවසන් කිරීම අරමුණු කරගනිමින් ඉරානය ඉදිරිපත් කළ යෝජනාව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවය.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි (Abbas Araqchi) ප්‍රකාශ කළේ, මෙම උපායමාර්ගික නාවික මාර්ගය නැවත විවෘත කිරීම සඳහා තෙහෙරානයේ කොන්දේසි ඉතා පැහැදිලි බවත්, නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම එම කොන්දේසි සපිරීම මත රඳා පවතින බවත්ය. පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවිය හැක්කේ සාකච්ඡාමය මාර්ගයකින් පමණක් බව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය සතියේ නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඉරානය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද අතර, කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් එය වොෂින්ටනය වෙත යොමු කර තිබුණි. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ පුළුල් මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා වන පියවරයන් රැසක් ඊට ඇතුළත්ව තිබූ බව වාර්තා වේ.

කෙසේවෙතත්, ඉරානය වෙත එල්ල වී ඇති දැඩි බලපෑම් හමුවේ තෙහෙරානය මෙම සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීමට ගිවිසුමකට එළඹීමට උත්සාහ කරන බව පවසමින්, එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති ට්‍රම්ප් සෙනසුරාදා ප්‍රකාශ කළේය. එසේ වුවද, ඇමරිකානු සාකච්ඡාකරුවන්ට මේ සතියේදී ඉරානය සමග වැඩිදුර සාකච්ඡා පැවැත්විය හැකි බවටද ට්‍රම්ප් ඉඟි පළ කර තිබේ.

ඇමරිකාව මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවට මැදිහත්කරුවන්ගෙන් මෙතෙක් නිල දැනුම්දීමක් ලැබී නොමැති බව විදේශ අමාත්‍ය අරක්චි පැවසීය. “අප මැදිහත්කරුවන්ගෙන් අවසාන නිල ස්ථාවරය ලැබෙන තෙක් බලා සිටිනවා,” යැයි පැවසූ ඔහු, වොෂින්ටනයේ නිල තීරණය ලැබීමෙන් පසු ඉරානය සිය ඉදිරි පියවරයන් තීරණය කරන බවද සඳහන් කළේය.

මෙම අර්බුදයේ ප්‍රධාන සංවේදී මධ්‍යස්ථානය බවට පත්ව ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියයි. ඇමරිකාව එල්ල කරන හමුදාමය බලපෑම් ලිහිල් කර, ඉරාන වරායන් වෙත පනවා ඇති තහංචි ඉවත් කරන්නේ නම්, දින 7 ක් ඇතුළත සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සූදානම් බව ඉරානය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

මේ අතර, පවතින ගැටුම්කාරී තත්ත්වය “තීරණාත්මක හා අතිශය සංවේදී” මට්ටමකට පැමිණ ඇති බව ඉරාන හමුදාපති අමීර් හතමි (Amir Hatami) ප්‍රකාශ කළේය. කලාපයේ උපායමාර්ගික නාවික මාර්ග විදේශීය බලවතුන්ගේ පාලනයට නතු කරමින්, ඉරානයට වෙළඳාම් කිරීමට ඇති ඉඩකඩ අහිරවන කිසිදු තත්ත්වයකට තෙහෙරානය එකඟ නොවන බවටද ඔහු අනතුරු ඇඟවීය.

ලෝකයේ ප්‍රධානතම බලශක්ති සැපයුම් මාර්ගයක් වන මෙම සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට සහ ගැටුම් අවසන් කිරීමට ජාත්‍යන්තර මට්ටමින් රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here